Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පිරිමිත් එක්ක හරි හරියට කාර් රේස්  පදින  අපූරු තරුණිය

සිහින කියන්නේ සියලුම දෙනාට පොදු දෙයක්. කාන්තාවක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා ජීවිතය තුළ ඔවුන් විවිධාකාරයේ සිහින දකිනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ එක මොහොතකින් දැකපු සිහිනයක් දිවා රෑ නොතකා සැබෑ කරගන්නට උත්සාහ දරන අපූරු තරුණියක් පිළිබඳවයි.

ඇය නමින් කෞෂල්‍යා ආරියදාස. සම්පූර්ණ කතාව කියන්න කලින් අපි ඔබට පුංචි ඉඟියක් දෙන්නම් මේ සොඳුරු කාන්තාව මෝටර් රථ ධාවන ශූරියක් විදිහට තරග රැසකටම සහභාගි වෙච්ච කෙනෙක්. ඉතින් ඇය උපත ලබන්නේ ගෙන්දගම් පොළොවෙ නම් නෙවෙයි.

කෞශල්‍ය දැරණියගල පල්ලේබාගේ කියන  ගම්මානයේ තමයි උපත ලබන්නේ. ඇය මුලින්ම උසස් පෙල විභාගය අවසන් කරලා රැකියාවක් හොයාගෙන කොළඹ ප්‍රදේශයට එනවා. කොච්චර රැකියාවන් බැලුවත් ඇයට හිතට හරියන කිසිම රැකියාවක් හම්බවුණේ නැහැ. ඒ නිසාම 2008 අවුරුද්දේ පෞද්ගලික මාධ්‍ය නාළිකාවක ආලෙවි විධායිකාවක් හැටියට ඇය රැකියාව කරනවා.

මේ විදිහෙ රැකියාවක් ඇයට ප්‍රථම වරට හම්බවුනාට කෞෂල්‍යාගේ  ඉරණම ලියවිලා තිබුණේ  වෙනස් විදියකට. ඇය එක්තරා දවසක මිතුරු මිතුරියන් පිරිසක් එක්ක මෝටර් රථ ධාවන තරගයක් බලන්න යනවා. එය 2018 වර්ෂය සංවිධානය කරපු ඌව කුඩාඔය කමාන්ඩෝ  සුපර් ක්‍රොස් තරගාවලිය.

ඉතින් මේ තරගය නරඹන අතරතුර ඔය අතර හිටපු එක්තරා පුද්ගලයෙක් කෞශල්‍යයට කියනවා අක්කේ ඔයත් කාර් රේස් පදින්න පුරුදු වෙන්න කෝ කියලා. ඇත්තටම ඒ පිළිබඳව ඇගේ හිතට පුංචි කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ කතාව ඇහුවට පස්සෙ ඒ කැමැත්ත දෙගුණ තෙගුණ වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉඳන් මෝටර් රථ තරගාවලි පිළිබඳව  ඇය මුල සිටම හොයන්න පටන් ගත්තා.

ඒ උනන්දුව සහ ආශාව මත පවුලේ සියලුම දෙනා කැමති කරගෙන අවසානයේ කෞෂල්‍යා  මෝටර් රථ ධාවනයට අවශ්‍ය කරන රියදුරු බලපත්‍රය ලබා ගන්නවා. ඉතින් මේ පිස්සුව ඇගේ ඔලුවට ගහලා ඒ වෙද්දි මාස තුනක් විතර ගිහින්. ඔන්න  කෞෂල්‍යා ට ආරංචි වෙනවා රොදහැම් කටුකුරුන්ද race එක පිළිබඳව.

ඉතින් ඒක තිබ්බෙ 2018 අවුරුද්දේ. ඒ වෙද්දී ඇයට මේ තරගයට සහභාගි වෙන්න ආසා හිතුනත් සහභාගි වෙන්න කාර් එකක් නම් තිබ්බ නැහැ. ගොඩක් දෙනෙක් ගෙන් මේ තරගයට යන්න කාර් එකක් ඉල්ලුවත් ඇය කාන්තාවක් නිසා උදව් කරන්න කවුරුත් උනන්දු වෙලා නැහැ.

ඊට පස්සේ ලංකාවේ රේස් කාර් පදින චාමික රණතුංග කියන පුද්ගලයා විසින් ඇයට මේ තරගයට සහභාගි වෙන්න අවශ්‍ය කරන කාරෙක දෙනවා. එදා තරගකරුවන් විසි දෙකක් අතරින් ඇයට දොළොස් වැනි ස්ථානයට එන්න අවස්ථාව හිමිවුණා. කෞෂල්‍යා මුලින් හිතුවේ මේ තරගාවලිය සාර්ථකව අවසන් කරන්න ඇයට තිබුනොත් ඇති කියලා. නමුත් හිතුවටත් වඩා ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව තිබුණු නිසා  කෞෂල්‍යා ගොඩක් උනන්දුවෙන් මේ කාර්යයට අත ගහන්න තීරණය කළා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පමණක් වෙන් වෙච්ච කාර් රේස් තරඟාවලි නැහැ.  ඒ නිසාම ඇයට තරග කරන්න සිද්ධ වෙන්නේ පිරිමි පුද්ගලයොත් එක්ක. ඒක කෞෂල්‍යා ට ලොකු අභියෝගයක්. නමුත් ඇය මේ අභියෝගය ඉතාමත් සාර්ථකව මේ වෙද්දි ජයග්‍රහණය කරගෙන යනවා.

පසුගිය පෙබරවාරි 6 වැනිදා තිබුණු ice breaker gajaba supercross  2022 තරගාවලියේ දී ඇයට තරගකරුවන් 12ක් අතරින් 4 වෙනි  ස්ථානය ලැබුණා. මේ තරගාවලිය පුරාවට ම හිටියේ පිරිමි තරගකරුවන් ඉතින් ඒ නිසාම ඇය මේ ලබපු ජයග්‍රහණය ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණය කියලත් කෞෂල්‍යා ප්‍රකාශ කළා.

ඇය රේස් එකට යන්න කලින් අනිවාරෙන්ම පන්සල් ගිහින් බෝධි පූජාවක් තියලා ආශිර්වාද ලබා ගන්නත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම අනිවාර්යෙන්ම දෙමාපිය ආශිර්වාදය ලබා ගන්නත් ඇයට අත්‍යවශ්‍යමයි. ඒ සියලුම දේවල් එක්ක අනාගතයේදී ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කරලා රටට කීර්තියක් අත්පත් කර දෙන්න කෞෂල්‍යා සූදානමින්.

ඉතින් ඒ සියලුම බලාපොරොත්තු ඇයට සැබෑ කරගැනීමට හැකියාව ලැබේවා කියා අපේ හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මූලාශ්‍රය ධරණී පුවත්පත