Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අලුත් දේවල් රැසක් හඳුන්වා දුන් හාවඩ් සරසවියේ ලාංකික පර්යේෂිකාවක

ලොව දියුණු වීමත් සමගම බොහෝ දෙනා තාක්ෂණය  ඒ වගේම අධ්‍යාපනය ඔස්සේ අලුත් දේවල් නිතර හඳුන්වාදෙන්න තමයි උත්සාහ දරන්නේ. සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට ශ්‍රී ලංකාව ගත්තහම තාක්ෂණික අතින් පෙරට වඩා යම්කිසි දියුණුවක් අත්පත් කරගෙන සිටිනවා.

නමුත් ශ්‍රී ලංකාව තුළ කොතරම් සංවර්ධිත තත්ත්වයක් අපි ළඟා කරගෙන හිටියත් අපිට ලැබිලා තියෙන සීමිත අවස්ථාවන් නිසා තාක්ෂණය අධ්‍යාපනය එක්ක හරි හරියට  තරග කරලා ඉගෙනීම ලබන බොහෝ දෙනෙක්ට නිසි තැන ලැබෙන්නේ නෑ. එහෙම නැත්නම් නිසියාකාර වැටුපත් එක්ක රැකියාවක් ලැබෙන්නේ නැහැ.

අන්න ඒ නිසා ම ගොඩක් දෙනෙක් වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා අවස්ථාවන් සඳහා විදෙස්ගත වෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් රටකට ගිහින් ශ්‍රී ලාංකීය නාමය ඒ රට තුළ බබලවන්න උත්සාහ දරන ධෛර්යසම්පන්න දියණියක් පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පදිංචි ඇය මහමායා බාලිකා වේ ආදී ශිෂ්‍යාවක්. ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියක් වන මේ  තරුණිය නමින් ගයානි සෙනවිරත්න මෙනවියයි. ඇය ශ්‍රී ලංකාවෙන් අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනවා.

චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ගයානි විවිධ නව පරීක්ෂණ රැසකින් අලුත් අලුත් දේවල් ලෝකයට දායාද කරන්න සමත් වුණා. ඇය දැනට අවුරුදු  කීපෙකට කලින් සිය උපාධිය සම්පූර්ණ කළ අතර පශ්චාත් ආචාර්‍ය උපාධිධාරිණියක් ලෙස ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙනවා.

ඇය හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය තුළ දී මිනිසාගේ ශ්‍රෝණි පටිය වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂණ රැසක යෙදෙනවා කියලත් සඳහන් කළා. මේ ධෛර්යසම්පන්න කාන්තාව දැනට ලොව පිළිගත් හොඳම විශ්වවිද්‍යාල දහයෙන් එකක් වන ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරා අවසන් කිරීම සඳහා ශිෂ්‍යත්වයක් ද ලබාගෙන තිබෙනවා.

ඇය කොතෙක් දක්ෂද කියනවානම් ඇය විසින් සිදුකළ විවිධ පරීක්ෂණ සම්බන්ධයෙන් දෙවරක්ම ජනාධිපති සම්මානය හිමිකර ගන්න වාසනාවන්ත වුණා. ඒ විතරක් නෙවේ ශ්‍රී ලංකා පරීක්ෂණ ආයතනය මගින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පරීක්ෂණය සඳහා වූ සම්මානය ද ඇය දිනාගත්තා.

ඉන් නොනවතින ධෛර්යසම්පන්න මේ තරුණිය නොබෙල් තයාග ලාබීන් කීපදෙනකු විතරක් හිමි කර ගන්නා ලද  helen hay whitney fellowship නැමැති ජාත්‍යන්තර සම්මානය හිමි කර ගන්නත් අවස්ථාව උදාකර ගත්තා.

ඇය විසින් සිදු කරපු පරීක්ෂණ අතර උපතට පෙර මිනිස් ළදරුවන්ගෙ අක්ෂි තීරුවේ දකින්නට ලැබෙන අසාමාන්‍යතාවයන් ට ප්‍රතිකාර කරන්න හැකි වන ඒ සඳහා යොදාගත හැකි ගෙම්බන්ගේ ශරීරය තුළ වර්ධනය වන ජානයක් හොයාගන්නවා. ඒ පිළිබඳව ඇමෙරිකාවේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ ඇයට වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඉඩකඩ වෙන් කරමින්. ඇයගේ මේ දක්ෂ සොයා ගැනීම පිළිබඳව ඇමරිකාවේ ඉහළ පෙළේ සඟරාවක ද විස්තර ඇතුළත් වී තිබුණා.

මේ ආකාරයෙන් හොඳින් අධ්‍යාපනය ලබාගෙන දවසක ලංකාවට ඇවිල්ලා ඇය ලබා ගත් දැනුම විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට බෙදාදීම ගයානිගේ එකම හීනයයි. ඇගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගෙම කියල විද්‍යාගාරයක් පවත්වාගෙන යාම.

ඉතින් මේ තරම් සුන්දර තරුණියක් මේ ලෝකෙට බිහි කරන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් වන උපුල් සෙනවිරත්න සහ පෞද්ගලික පරිසර  ආයතනයක පරීක්ෂණ නිලධාරිනියක් ලෙස කටයුතු කරන භාග්‍යා  සෙනෙවිරත්න යුවලයි.

ඔවුන්ගේ එකම දියණිය වන ගයානි  මේ වන විට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරියක් වශයෙන් පරීක්ෂණ කටයුතුවල නියැලෙමින් සිටිනවා. විශේෂයෙන් මිනිස්සුන්ගේ කොඳුනාරටිය ආශ්‍රත රෝග ඒ වගේම මිනිස් සිරුරේ උකුල් ඇටය ආශ්‍රත රෝග සහ අලුතින් උපදින දරුවන් මුහුණදෙන උකුල් ඇටය සම්බන්ධ ආබාධ පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් යනවා.

ඉතින් ඒ පරීක්ෂණවලින් යහපත් ප්‍රතිඵලයක් ඇයට ළගා කරගෙන ලෝකයට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍ර ලංකාදීප පුවත්පත

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies