Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

සහභාගි වුණු පළමු ජාත්‍යන්තර තරගයෙන්ම පදක්කම් 4ක් ලබාගත් අපුරු ක්‍රීඩිකාව

ඈත අතීතයේ වගේම වර්තමානයෙත් ක්‍රීඩාව තුළින් ලක් මාතාවට ගෞරවයක් අත්පත් කර දුන් බොහෝ චරිත පිළිබඳව අපිට අහන්නටත් දකින්නටත් ලැබෙනවා. ක්‍රීඩාව අංශයෙන් මේ විදිහට ලක් මාතාවට කිරුළු පැලැන්දූ ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් අතර විශිෂ්ටතම ජයග්‍රහණයක් අත්පත් කර දුන් ජයග්‍රාහිකාවක් තමයි  සුසන්තිකා ජයසිංහ කියලා කියන්නේ.

ඇය එදා විවර කර දුන් ඒජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කරනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ජීවිතේට ලැබෙන සෑම අභියෝගයක්ම ඉතාම සාර්ථක විදිහට ජය ගනිමින්  ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබර ආකාරයෙන් කරගෙන  ක්‍රීඩාව තුළින්  තමන් උපන් ලක් මාතාවට ගෞරවයක් අත්පත් කර දුන් ආදරණීය දියණියක් පිළිබඳවයි.

ඇය නමින් ගලීනා බස්නායකකයි. ඇය මේ විදිහට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් අත්පත් කර දෙන විට දාසය හැවිරිදි වියෙහි පසු වුණා. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ හදාරන ගලීනා ක්‍රීඩාවට අමතරව චිත්‍ර අඳින්නත් එවගේම ග්‍රැෆික් නිර්මාණකරණයට විශාල දක්ෂතාවයක් දක්වනවා.

පවුලේ එකම දියණිය වන ඇයට වැඩිමහල් හා බාල සොහොයුරෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඒ දෙදෙනා ද පිහිනුම් ක්‍රීඩාවට දක්ෂයි. ඉතින් අපි කතාව කිව්වට  ගලීනා ලංකාවට ගෙනාපු ජයග්‍රහණය පිළිබඳව කිව්වේ නැහැනෙ.

ඇය පසුගියදා බහාරේන් මනාමා නුවර පැවති සිව්වනි පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වුණා. එහිදී ඇය විසින් රන් පදක්කම් තුනක්ද රිදී පදක්කමක් ද දිනා ගන්නේ සමස්ත පදක්කම් හතරක් ලබා ගනිමින් ලක් මව රනින් සරසමින්. මේ තරඟාවලිය පුරාවට ම පදක්කම් 12 ක් දිනා ගන්න අපට හැකියාව ලැබුණා. ඉන් 4 ක ම ආඩම්බරකාර හිමිකාරිනිය වෙන්නේ ගලීනයි.

ඇය මේ ආකාරයෙන් රන් පදක්කම් තුනක් දිනා ගන්නේ නිදහස් ආර පිහිනුම් තරග ඉසව්වෙන්. එය මීටර් 400 මීටර් 100 සහ මීටර් පනහා ඉසව් නියෝජනය කරමින්. ඒ වගේම රිදී පදක්කම ඇය විසින් දිනා ගන්නේ සමනල ආර පිහිනුම් ඉසව්ව සඳහා යි. මේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ගලීනා අදහස් එකතු කරේ මේ විදිහටයි.

පිනලා ලොකු ජයග්‍රහණ ලබනවා කියලා හිතාගෙන හිටියේ නැහැ. පුංචි කාලේ තමයි මම වතුරට පුරුදු වුණේ. ඒ දවස් වල ඉඳලම මුහුදෙන් පීනලා තියෙනවා. ඒකට හේතුව තමයි මගේ අයියා පිහිනුම් ක්‍රීඩාවට යොමු වුණු කෙනෙක් නිසා. අයියලා නිසා මම වතුරට ආස කරා.

මේ විදිහට අදහස් දක්වන ඇය ඉස්කෝලේ 4 ,5 පංති වලට එනකොට පිහිනීම අංශයෙන් තරගාවලි නියෝජනය කරන්න ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඇයගේ ජයග්‍රහණයක් දැකපු ආදරණීයම මව සහ පියා ඇයව නිසි පුහුණු කාරිත්වයක් යටතේ පුහුණු කරන්න පටන් ගත්තා.

ඇගේ පුහුණුකරු වන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් පිහිනුම් ශූර ජුලියන් බෝලිං මහතායි. ඉතින් ඇගේ මේ ජයග්‍රහණය දැක බලා ගැනීමට බහරේන් රාජ්‍යයට ආදරණීය පියාටත් යන්න හැකියාව ලැබෙනවා. මොකද ඔවුහු පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෛද්‍ය වරයෙක් වශයෙන් කටයුතු කරපු නිසයි. දහතුන් දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායම භාර වෛද්‍යවරයා වුණේ එතුමයි.

ඉතින් මේ සාර්ථක ගමන් මඟ තුළ ඔවුන්ට අවසානය හැකියාව ලැබෙනවා ජයග්‍රහණ හතරක් ලබාගන්න. ඒ ජයග්‍රහණ ලබාගෙන ලංකාවට පැමිණියේ ඉතාමත් ආඩම්බරයෙන්.  ගොඩක් දෙනෙක් ඇයට සුබ පතන්නත් අමතක කළේ නැහැ.

ඉතින් මේ පුංචි දැරියගේ අනාගත බලාපොරොත්තුව තමයි 2022 අවුරුද්ද චීනය පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ බලාපොරොත්තුවයි. එහිදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට ගලීනා සූදානමින්.

ඉතිං ඒ බලාපොරොත්තුව ඒ අයුරෙන්ම ඉෂ්ට කරගෙන ලක් මාතාව නැවත වතාවක් රනිල් සැරසවීමට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මූලාශ්‍රය ධරණී පුවත්පත

M.ශෂිකලා මදුෂානි

BA in Communication Studies