Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

විදුලියෙන් ක්‍රියාකරන ගෝල්ෆ් කාට් රථයක් නිර්මාණය කල අපුරු මිනිසා

අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නො නගී කියලා පැරණි කියමනක් තියනවා. ඉතින් ඒ කියමනට අනුව අලුත් දේවල් නිෂ්පාදනය කරන අලුතෙන් යම් කිසි දෙයක් අත්හදා බලන්නට නිතරම ආස කරන විවිධ පුද්ගලයන් පිළිබඳව අපිට අද වන විට නොයෙක් ආකාරයෙන් අහන්න ලැබෙනවා.

නවෝත්පාදනයන් පිළිබඳබ නන්දෙසින් අපි විවිධ දේවල් ඇහුවත් ඒ පුද්ගලයන්ගේ නිෂ්පාදිතයන් වර්ධනය කරගැනීම සඳහා රජයෙන් හෝ කිසිදු පුද්ගලයකුගෙන් මේ වන විට සැලකිය යුතු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වී නැහැ . ඒ කෙසේ නමුත් අලුත් දෙයක් අලුත් නවෝත්පාදනයක්  ලෝකයට හඳුන්වා දිය යුතු නිසා ඒ සඳහා ඇප කැප වන මිනිසුන් අද ලෝකය තුළ  අපිට නිතර දකින්නට ලැබෙනවා.

තාක්ෂණය දියුණු වීමත් සමග තමයි මිනිසා මේ අලුත් අලුත් දේ අත්හදා බලන්න පෙළඹෙන්නේ. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ ආකාරයේ අලුත් දෙයක් අත්හදා බලා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට හඳුන්වා දීමේ අරමුණෙන් සිටින අපූරු නවෝත්පාදක පුද්ගලයෙක් පිළිබඳවයි.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කපිල ද සිල්වා මහතායි.  අලුත් දෙයක් හදන්නට ඔහු තුළ ඇති පුදුමාකාර ඉලක්කය සහ අරමුණ නිසාම නිතරම ඔහු තාක්ෂණයත් එක්ක තමයි ගනුදෙනු කෙරේ.

ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන් අමතර විෂයක් ලෙස ඔහු ප්‍රාග් වෘත්තිය ලෙස මෝටර් රථ කාර්මික හා ලෝහ වැඩ අමතර විෂයක් ලෙස හදාරලා තියෙනවා. මේ අවස්ථාව ඔහුට හිමි වෙන්නේ පාසලේ අමතර විෂයක් ලෙස එම විෂය තිබුණු නිසයි.

කපිල ද සිල්වා මහත්මයා පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව ජර්මන් කාර්මික ආයතනයට ඇතුළත් වෙලා කාරමික දැනුම මුවහත් කර ගැනීම ට විවිධ අධ්‍යන කටයුතුවල නිරත වුණේ වාහන නිෂ්පාදනය කරන්න තිබ්බ කැමැත්ත නිසයි.

එනිසාම ඔහු එකතු කරගත් අඩුම කුඩුම ටිකක් සමග මෝට බයිසිකල් එකක ආකෘතියක් සකස් කරනවා. ඊට පසු 2004 2005 වර්ෂවලදී මුලින්ම ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න ඔහු කල්පනා කළා. ඒ නිෂ්පාදන ඉතාමත් සාර්ථක විදිහට අවසන් කිරීමෙන් අනතුරුව 2005 වර්ෂයේදී නව නිර්මාණය වූ ඉලෙක්ට්‍රික් කාර් එකට ජනාධිපති සම්මානය හිමි වුණා.

ඔහුට  මූල්‍යමය වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ලැබුනේ ඉදිරි නවෝත්පාදන කටයුතුවලට දිරිමත් කිරීමක් වශයෙන්. කපිල මහතා ගේ ඊළඟ මූලිකම ඉලක්කය වුණේ  පාරේ ධාවනය කළ හැකි ආකාරයට මෙකී ඉලෙක්ට්‍රික් මෝටර් රථයට නීත්‍යානුකූල අවසරය ලබා ගැනීමයි.

මේ මෝටර් රථය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් ලක්ෂ අටක සහ දහයක පමණ ප්‍රමාණයක් වැය වූ අතර  එය අනිකුත් මෝටර් රථ පිටරටින් ගෙන්වනවා ට වඩා  ඉතාමත් ලාබදායී දෙයක් බව ඔහු පැවසුවා. නමුත් පිටරටින් ගෙන්වන මෙවැනි මෝටර් රථ නිසා දේශපාලන අධිකාරිය ඔහුගේ නව නිෂ්පාදනයට අවශ්‍ය කරන බලපත්‍රය ලබා දෙන්නේ නැහැ.

නමුත් එයින් සැලෙන්නේ නැති කපිල දසිල්වා මහත්මයා විදුලියෙන් ක්‍රියාකරන ගොල්ෆ් කාට් රථයක් නිර්මාණය කිරීමට තීරණය කරනවා. ඒකට මූලිකම හේතුව එය ධාවනය කිරීමට කිසිදු අමාත්‍යාංශය කින් හෝ දෙපාර්තමේන්තුවකින් අවසර ගත යුතු නැති නිසයි.

මේ නිර්මාණය අඩි හතක් දිග පළලින් අඩි හතරක් විශාල වාහනයක් වන අතර මේ වන විට කොළඹ සැන්ගිලා හෝටලය නාවික හමුදාවේ බත්තරමුල්ල,waters edge හෝටලය කන්කසන්තුරේ හමුදාව කදවුර ආදී විවිධ ස්ථානවල එදිනෙදා භාවිතය සඳහා යොදාගන්නවා කියලා කපිල මහත්මයා සඳහන් කළා.

මෙ වන විට ඉතාමත් සාර්ථක නවෝත්පාදකයෙක් ලෙස ගමනක් යන කපලි ද සිල්වා මහතා වගකිය යුතු සියලූ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ හැකියාවට ඉඩක් ලබාදී අවශ්‍ය කරන අවසර සහ නීතිමය රාමුව සකස්කර දෙන්නේ නම් මීටත් වඩා නවෝත්පාදනයන් ලෝකයට දායාද කිරීමට අවස්ථාව උදා වෙනවා කියලයි.