Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කොටස් එකලස් කර සාර්ථකව මෝටර් රථයක් හැදූ පාසල් සිසුවා

ඔහේ ජීවත් වෙනවාට වඩා අභියෝග ජය ගනිමින් ජීවිතය දිනනවා කියලා කියන්නේ අමුතුම දෙයක්. යෞවන වයසේ ජීවත්වන බොහෝ දෙනෙක්ට ජීවිතය වෙනස් කරමින් නව විප්ලවයන් වලට මුහුණ දෙමින් අලුත් අලුත් දේ පිළිබඳව හොයන්නට සහ දකින්නට තියෙන්නේ හරි අමුතු ආසාවක්.

ඇත්ත වශයෙන්ම අභියෝග ජයගෙන අරමුණක් ඇතිව යන ගමනක් කෙනෙකුගේ ජීවිතයට තියනවනම්  අනිවාර්යෙන්ම ඔහුට සාර්ථක පුද්ගලයෙක් වෙන්නට  එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ ආකාරයෙන් අලුත් අත්දැකීම් තමන්ගේ ජීවිතයට ළඟා කරගෙන අලුත් දේවල් ලෝකයට දායාද කරන්නට උත්සාහ කරන අපූරු පාසල් සිසුවෙක් පිළිබඳවයි.

ඔහු එස් රුක්ෂාන් නින්නාද සිසුවා වන අතර අලව්ව යත්තල්ගොඩ ගම්මානයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලේ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ ඔහු  කොටස් එකලස් කර ගනිමින් සාර්ථකව  අපූරු නිර්මාණයක් හදන්නට මූලික පියවර තියෙනවා.

පුංචි කාලේ ඉදන් කාර්මික වැඩ වලට විශාල කැමැත්තක් දැක් වූ  රුක්ෂාන්  සිසුවා  පාසලේ ප්‍රදර්ශනයක් සංවිධානය කරන්නටත් සමත් වුණා. මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම සඳහා තමයි ඔවුහු මේ නිර්මාණය සිද්ධ කරන්න තීරණය කරන්නේ. මේ ප්‍රදර්ශනය සදහා ඔහු මුලින්ම තීරණය කරනවා මෝටර් රථයක් නිර්මාණය කරන්න. තමන්ගේ පියාට මේ පිළිබඳව සැල කළ වහාම ඉතාමත් සතුටෙන් හරි පුතේ අපි මේ වැඩේ කරමු කියලා ඔහුව දිරිමත් කළා කියලා රුක්ෂාන් සඳහන් කළා.

ඔහුගේ පියා වාහන ගෙන්වන සමාගමක රැකියාවක් කරන පුද්ගලයෙක්. මේ නිර්මාණය කිරීම සඳහා ඔහු පියාත් සමඟ උඩුගම්පොලට ගිහින් පරණ ත්‍රීරෝද රථයක් මිලදී ගන්නවා. මේ ත්‍රිරෝද රථයේ එන්ජිම ඉවත් කරලා ක්ලච් එක ගියර් පද්දතිය අලුතින් සවි කරන්න ඔහු තීරණය කරනවා. ඒ එන්ජිම සාර්ථකව ක්‍රියාත්මක වන බව වැටහුනු නිසා පසුව  පිටුපස රෝද දෙකට සමාන්තරව ඉදිරිපස රෝදය සවි කරා. මීට අමතරව තිරිංග පද්ධතිය ක්‍රමවත් නැති නිසා අලුත් තිරිංග පද්ධතියක් සවි කරන්නත් ඔහුට හැකියාව ලැබුණා. 

අබලන් තත්ත්වවයේ තිබූ ත්‍රීරෝද රථයක් නිසා ඒ තහඩු භාවිතා කළ නොහැකි නිසාත් අමානෝ තහඩු මිලට ගෙන වාහනය සැකිල්ලට අනුව තහඩු නවා එය නිර්මාණාත්මකව සකසා ගන්න ඔහුට හැකියාව ලැබුණා. ඉන්පසු වාහනයේ රියදුරු අසුන සහ තවත් අසුන් එකක් සවිකර පසුපස අසුන් ද සවි කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

මේ අපූරු මෝටර් රථය පැයට කිලෝ මීටර් තිහක්  හතළිහත් අතර වේගයකින් යුක්ත වන අතර ගියර් තුනකින් හා රිවස් ගියර් එකෙන් සමන්විතයි.  වටිනා කාර්මික දැනුමකින් යුක්ත රුක්ෂාන්ට මේ මෝටර් රථය සාර්ථකව නිම කරන්න ඒ තරම් එතරම් අපහසුවක් තිබුණෙ නැහැ. 

වාහනේ නිර්මාණය කරන අතරතුර යාලුවොත් එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්නත් ඒ සඳහා කාලය වෙන් කරන්නත් ඔහු අමතක කළේ නැහැ. අවසානයේ සියලුම දේ සමබර විදිහට කරගෙන යන ඔහුට  ඉතාමත් සාර්ථක මෝටර් රථයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වුණා. ඉතින් මේ ජයග්‍රහණය ඔහු ඉගෙන ගත් පාසලට විශාල කීර්තියක් කියලා  පාසලේ ගුරුභවතුන් නිරන්තරයෙන් ම සඳහන් කළා.

ඉදිරියේදී මෙවැනි නව නිෂ්පාදනයන් සඳහා රජයේ අනුග්‍රහයක් ලබා දෙනවා නම් රුක්ෂාන් නමැති දක්ෂ තරුණයන් අනාගත ලෝකය වෙනස් කරතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies