Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ජීවන ගමනින් එතෙර වෙන්නට මාදම්පා ගඟේ බෝට්ටු පදින සුජීවා

වර්තමානය වන විට ජීවිත සටනෙන් ජය ගන්නට විවිධ ආකාරයේ රැකියාවන් වලින් ඉදිරියට යන කාන්තාවන් පිළිබඳව  වැඩි වශයෙන් අහන්නට ලැබෙනවා. අතීතය තුළ දී කාන්තාවන්ට කරන්න පුළුවන් වෙලා තිබුණු රැකියාවන් ඉතාමත් සීමිතයි. නමුත් වර්තමානය වන විට කාන්තාවන්ට ද රැකියා වෙළදපොළ තුළ විශාල අවස්ථාවන් නිර්මාණය වෙලා තියෙනවා.

ඉතින් අපි අද මේ කතා කරන්නට යන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් කරන්නේ නැති රැකියාවක නිරත වෙලා ඉන්න ධෛර්යසම්පන්න කාන්තාවක් පිළිබඳවයි. ඇය අම්බලන්ගොඩ පදිංචි සුජීවා දමයන්ති. සුජීවා ආදරණීය දරුවන් තිදෙනෙකුගේ මවක්. ඇය සහ ස්වාමි පුරුෂයා ඒ වගේම දරුවන් තුන් දෙනා එක්ක ඉතාමත් දුකසේ තමයි ජීවත් වෙන්නේ.

ඉතින් මේ දුක්ඛිත ජීවිතය නිසාම කාටවත් ජීවිතේ බරක් වෙන්නේ නැතුව ස්වාධීනව නැගී සිටින්න ඕන නිසා ඇය මෝටර් බෝට්ටු පදවන්නට තීරණය කරනවා. කාන්තාවක් මෝටර් බෝට්ටුවක් පදිනවා කිව්වහම සමාජය ගොඩක් දෙනෙක් ඒක දකින්නේ විවිධ කෝණවලින්.

නමුත් සුජීවා මාදම්පා ගඟේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ ගමන් වාරයකට පැය දෙකක පමණ කාලයක් වෙහෙස වෙලා මේ සංචාරකයන්ට උපරිම විනෝදජනක අත්දැකීමක් ලබාදෙනවා.

ඉතාමත් සකසුරුවමට බෝට්ටුව පදවන සුජීවා ගඟේ තියෙන ගල් මුල් ඒ වගේම දැල් ඇදලා තියෙන තැන් පිළිබඳව මනා අවබෝධයකින් ඉන්න කෙනෙක්. ඉතින් ඇයට ඒවා පළපුරුදු විශේෂඥයෙක් ලෙස මගහැර යන්නත් අපූරු හැකියාවක් තියෙනවා.

වෙලාවකට සංචාරය සඳහා පිරිමි පුද්ගලයන් පමණක් පැමිණෙන විට  ඇය  ඒ අභියෝගය ද හිස මත තබාගෙන ඉතාමත් හොඳින් තමන්ගේ රැකියාව සිද්ධ  කරනවා. බොහෝ කාලයක් ලද පළපුරුද්ද නිසාම මේ ගගේ ගැඹුරු ස්ථාන ඒ වගේම වගේ ම කිඹුලන් සිටින ස්ථාන ආදී දේ පිළිබඳව ඇය  විශේෂයෙන් ම සැලකිලිමත්.

ඇගේ බෝට්ටුවේ සංචාර යන බොහෝ දෙනෙක්ට  වවුල් කැලේ,කඩොලාන රක්ෂිතය ,කිරල කැලෑව,වෙස් මුහුණු කෞතුකාගාරය ඒ වගේම දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිම වහන්සේ ආදී දේවල් දැකබලා ගැනීමට අවස්ථාව උදා වෙනවා.

ගැඹුරු දියේ මේ ආකාරයෙන් මෝටර් බෝට්ටු පදවද්දී යම්කිසි කාර්මික දෝෂයක් ආවොත් ඒ දෝෂය හදාගෙන නැවත වතාවක් ආපහු එන්නත් සුජීවා ඉතාමත් දක්ෂයි. ඒ වගේම තමයි මෝටර් බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් දැමීම ද ඇය විසින්ම සිදු කරනවා.

බෝට්ටු පදින එක කාන්තාවගේ සියුමැලි  දැතට කර්කශ අත්දැකීමක් වුවත්  සුජීවා මේක කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ කැපවීමෙන්. සුජීවගෙ බෝට්ටුවට ගොඩ වෙන සියලුම සංචාරකයන් ඉතාමත් පරිස්සමට ආපහු එක්කන්  එන්නත් ඇයට හැකියාව තියෙනවා.

ඉතින් ජීවිතේ කාටවත් බාධාවක් වෙන්නැතුව කරදරයක් වෙන්නෙ නැතුව තමන්ගෙ  උත්සාහයෙන්ම ජීවිතය නැගී සිටින්නට කටයුතු කරන සුජීවා වැනි කාන්තාවන්ගේ චරිත වලින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයි.  ඉතින් ඇගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies