Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දරුවන් නොමැති නිසා නුග ගස් හාරසීයකට මවක් වු ඉන්දියාවේ කාන්තාව

පරිසරයට ආදරය කරන  පුද්ගලයා නිරතුරුවම පරිසරය විසින් ආරක්ෂා කරනවා. ඈත අතීතයේ පටන් ම මේ පරමාර්ථය තමන්ගේ ජීවිතයේ මූලික ආදර්ශය බවට පත් කරගත් අපේ මුතුන් මිත්තන් ගස් ගල් වලට පවා වන්දනාමාන කරපු ගෞරවනීය පුරවැසියන් කොට්ඨාසයක්.

පරිසරය කියන්නේ ඇත්තටම අපිට අමිලව ලැබෙන සීමා රහිතව භුක්ති විඳීමට හැකි අනර්ඝ දායාදයක්. ඉතින් පරිසරයක වටිනාකම තේරුම් අරගෙන ඊට අනුකූලව ජීවත් වන මිනිස්සු වර්තමාන සමාජය තුළ ඉතාමත් සීමිතයි. පරිසරය විනාශ කරන මිනිසුන් අතරේ පරිසරයට පණ වගේ ආදරය කරමින් ඒ පරිසරය තුළින්ම ජීවිතය ගොඩනගා ගැනීමට තීරණය කළ අපූරු චරිතයක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ.

ඇය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු  110 ක් වයසැති සාලුමරද තිමක්කායි. ඇය පරිසර වේදිණියක් විදියට තමයි කර්ණාටක ප්‍රදේශයේ පුරාවටම ප්‍රසිද්ධ වුණේ. තිමක්කට  පුංචි කාලේ ඉඳන්ම හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. තිබුණු ආර්ථික දුෂ්කරතාවයන් නිසා පාසල් අධ්‍යාපනය නිසි ආකාරව නොලබන ඇය වයස අවුරුදු දහයේ පටන් තම නිවස කිට්ටුව තිබුන පතලක කම්කරුවෙක් ලෙසින් රැකියාව නියැලුණා.

ඊට පස්සේ දෙමව්පියන්ගේ කැමැත්ත මත වසර කීපයකට පසු ඇය විවාහ ජීවිතයට එක් වෙනවා. ඉතින් විවාහ ජීවිතයේ මේ විදියට ගත කරද්දි තිමක්කා විවාහ වෙලා වසර 25ක් ගත වෙනවා. නමුත් ඔවුන්ට දරු සුරතල් බලන්නට නම් වාසනාව ලැබුණේ නැහැ. මේ නිසාම දැඩි සේ සිත් තැවුලට පත් වුණු ඇය වයස අවුරුදු 40 දී පමණ ජීවිතය නැතිකර ගන්නට පවා උත්සාහ කළා.

නමුත් ජීවිතය නැති කරගෙන ජීවිතයෙන් පලා යාම ප්‍රශ්න වලට පිළිතුරක් නොවන බව දැනගත් ඇය මේ දුක නැතිකර ගන්නට අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. එනම් සෑම උදෑසනකම අවදිවෙන ඇය සහ සැමියා උදෙන්ම නැගිටලා අලුතෙන් ගස් හිටවීම සහ ගස් වලට පොහොර දැමීම වතුර දැමීම ආදී දේ කරන්න පටන් ගන්නවා.

ඉතින් කාලාන්තරයක් තිස්සේ මේක කරද්දී  ඔවුන්ගේ ගතත් සිතත් දූපත් කරන වැඩක් බවට මේක පත්වුණා. දරුවන් නොමැති දුකෙන් සිටි තිමක්කට ගස් සිටුවන්න පටන් ගත්තට පස්සේ ඒ දුක ටිකෙන් ටික නැති වෙන්නට පටන් ගත්තා. දරුවන් නොමැති වුණත් තමන් හිටවපු ගස් වැල් දරුවන් වගේ බලාගන්නට  ඇය හැමදාම කටයුතු කළා.

තිමක්කගේ උදාර සංකල්පය නිසා  ඇයට හැකියාව ලැබුණා නුග ගස් හාරසීයකට ආදරණීය මවක් වෙන්න. ඒ වගේම ඊට අමතරව තවත් ගස් අටසීයක් පමණ ඇය මිහිතලයට දායාද කරලා තියෙනවා. ඇය ගම්මාන දෙකක් එකිනෙකට යාබද කරමින් නුග ගස් හාරසියක් සිට වීම නිසා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඉන්දියානුවන් ඇයව වෘක්ෂ මාතාව යනුවෙන්  නම් කළා.

මේ වන විට ඇගේ නමින් අරමුදලක් පිහිටා තිබෙන අතර ඒකට රැස්වෙන අරමුදල් පරිසරය රැකගැනීමේ ව්‍යාපෘති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගාසිටුවීම ආදි සමාජ සේවය සඳහා යොදවන්නට තීරණය කරනවා. මේ වන විට ඇය ආරම්භ කරන අලුත්ම වැඩපිළිවෙළ තමයි තමන්ගේ ආදරණීය ජනතාව වෙනුවෙන් වැසි ජලය එකතු කර වැවක් තැනීම.

ඉතින් මෙවැනි ආකාරයේ විශාල සේවාවන් ඉටු කරපු මේ අපූරු කාන්තාව 2019 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වුණා. අවසාන වශයෙන් තිමක්කා මවක් වෙන්න ඕනෑම විදිහකින් හැමෝටම පුලුවන් කියන උදාර සංකල්පය සියලුම දෙනාට ඔප්පු කර අවසන්.

අවුරුදු එකසිය දහයක් ආයු  ලබන මේ ධෛර්ය සම්පන්න  පරිසර වේදිනිය ට තවත් චිරාත් කාලයක් ජීවත්වෙන්න  ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in communication studies