Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දුප්පත් මිනිස්සුන්ට තිබුණු එකම රෝහල අලුත් කර දුන් හිතහොඳ දොස්තර

වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ මේ ලෝකයේ විවිධ රැකියාවල් අතරින් උසස්ම රැකියාවක් විදිහට සලකන වෘත්තියක්. වෛද්‍යවරයෙක් වෙන්න එතරම් ලෙහෙසි නැහැ. ඒ වගේම ඒකට පෙර පිනත් බලපානවා. රෝගීන්ගේ මානසික සුවය වගේම කායික සුවය පිළිබඳව සැලකිල්ලක් දක්වන වෛද්‍යවරයා කියලා කියන්නෙ දේවත්තෙන් පවා පිදුම් ලැබිය යුතු චරිතයක්.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ  තමන්ගේ මුළු  ජීවිතයම වචනයේ පරිසමාප්තේ  අර්ථයෙන්ම  වෙදැදුරෙක් යන සංකල්පයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට කැප කළ උදාර පුද්ගලයෙක් පිළිබඳවයි. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව පර්යන්ත රෝහලේ ලොකු දොස්තර ප්‍රියශාන්ත මහතායි.

එතුමාව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ හිත හොඳ දොස්තර කියලා. ඒකට මූලිකම හේතුව රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රියමනාපයි අයුරින් කතාබහ කරන ශාන්ත ගති පැවතුම් ඔහු සතු නිසයි. බොහෝ දෙනෙක් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන තමන්ගෙ ගතමනාව හොයාගන්න වෙහෙසෙන මෙවන් කාලසීමාවක  දිනකට පැය දෙකක් මේ දොස්තර මහත්තයා චැනල් සේවයේ යෙදෙන්නේ රෝහල වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් හොයාගන්න කිව්වොත් ගොඩක් දෙනෙක් එක ඒක පිළිගන්න එකක් නැහැ. නමුත් ඒක තමයි ඇත්ත.

මේ ප්‍රදේශයේ ජීවත්වන බොහොමයක් දෙනා විවිධ ආර්ථික ගැටලුවලින් පීඩා විඳින පිරිසක්. ඒ නිසාම ඔවුන් සතුව අතමිට කාසි මහ ලොකුවට නැහැ. ඉතින් ඕනිම කෙනෙක් ලෙඩක් දුකක් හැදුනහම දුවගෙන එන්නේ ඉස්පිරිතාලෙට. නමුත් ඉස්පිරිතාලෙ දී නියම කරන බෙහෙත් ඖෂධ ලබා ගන්න වත්කමක් නැති පුද්ගලයන්ට ඒ බෙහෙත් ටික ගන්න අවශ්‍ය කරන මුදල් ප්‍රියන්ත දොස්තර මහත්තයාගේ පසුම්බියෙන් අරන් දෙන්න  දෙපාරක් හිතන්නේ නැහැ.

ඒ වගේම තමයි ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න ඇවිල්ලා ආපහු බස් එකට යන්න බස් ගාස්තු අතේ නැතිව ලත වෙන දහස් සංඛ්‍යාත මිනිසුන්ට පිහිට වෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. ඒ නිසා මෙතුමා ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ හිත හොඳ දොස්තර යනුවෙනුයි.

සමහර අවස්ථාවන් වලදී රෝහලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග හිඟවූ විට ඔහුගේ පෞද්ගලික මුදල් වියදම් කර ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග රෝහලේ ගබඩා කරන්නත් දොස්තර මහත්තයා කටයුතු කරනවා.

මේ ඇලයාපත්තුව රෝහලට ඔහු වැඩ බාර අරගෙන එද්දී මේ රෝහල හිතන්නවත් බැරි තරම් අබලන් තත්වෙක තිබිලා තියෙන්නේ. ජරාවාස වෙලා වල් පැළෑටි වලින් බිළිගෙන තිබුණු මේ රෝහල රෝගීන්ට වාසය කිරීමට සුදුසු තත්ත්වයකට ගෙනැවිත් පිළිසකර කරන්නට කැප වුණේ ඔහුයි.

මේ මානව හිතවාදී දොස්තර මහත්තයා ඇලයාපත්තුව පර්යන්ත රෝහලේ සේවයට යන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන ජේෂ්ඨ වෛද්‍යවරයෙක් වන අනුර විජයසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවයි. ඔහු කල ඉල්ලීම  තමයි මේ රෝහණ හොඳටම අබලන් වෙලා පුළුවන් නම් ඒ රෝහලට ගිහින් ඒක වැඩි දියුණු කරලා දෙන්න කියන ඉල්ලීමයි.

දෙපාරක් හිතන්නේ නැතුව ඒ අභියෝගය බාරගත් ප්‍රියශාන්ත දොස්තර මහත්තයා  රෝහලට ඇවිල්ලා වැඩ බාර ගන්නවා. මේ වන විට අබලන් තත්ත්වයේ තිබ්බ රෝහල කොහොමද ගොඩගන්නේ කියන  දේ ඒ තරම් ලේසි වුණේ නැහැ. වෛද්‍යවරයා මුලින්ම රෝහල් කාර්ය මණ්ඩල සමග ඒ පිළිබඳව සාකච්චා කරා .

ඊට පස්සේ රෝහල් සංවර්ධන කමිටුව සහ ගම්වැසියන් එක්ක සාකච්ඡා කරපු ඔහු රෝහල පියවරෙන් පියවර දියුණු කරන්න ක්‍රමවේදයක් සකස් කරනවා. යුද හමුදාවේ සහයෝගය ලබා ගන්නා වෛද්‍යවරයා රෝහල් කාර්යමණ්ඩලය හා ගම්වාසීන් එක්ක එකතු වෙලා  ජරාවාස වෙලා තිබ්බ වාට්ටු සහ රෝහල් අවට පරිශ්‍රය සුද්ද කරන්න පටන් ගත්තා.

ඊට පස්සේ රෝහලට අවශ්‍ය කරන අලුත් ඇඳන් වගේම මදුරුදැල් ආදී දේවල් කොරකහ වැව පුරාණ විහාරාධිපති සහ දායක සභාව ගේ මූලිකත්වයෙන් පරිත්‍යාග කිරීම සිද්ධ කරලා තියෙනවා . ඒ වගේම ඊට පස්සේ රෝහලට අවශ්‍ය වන බෙහෙත් වර්ග වෛද්‍ය උපකරණ අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයෙන් ගෙන්වන්නල් ප්‍රියශාන්ත වෛද්‍යවරයා තීරණය කරනවා.

ඊට පස්සෙ තව දුරටත් හිඟ වූ වෛද්‍ය උපකරණ ඔහුගේ පෞද්ගලික මුදල් යොදවා මිලදී ගන්නට දෙපාරක් හිතන්නේ නැහැ. මේ ගම්වල ජීවත් වන අහිංසක දුප්පත් ජනතාවට ඔසුසල්වලින් බෙහෙත් ගන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා  බෙහෙතක් හිඟ වුණු වහාම ඒ බෙහෙත ප්‍රියශාන්ත වෛද්‍යවරයාගේ පෞද්ගලික වියදමින් මිලදීගෙන රෝහලේ ගබඩා කරන්න අමතක කරන්නේ නැහැ.

අවුරුදු 8ක පමණ කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබ්බ ප්‍රසූතිකාගාරය සහ හදිසි ප්‍රතිකාර ඒකකය එතුමාගේ මූලිකත්වයෙන් නැවත වතාවක් විධිමත් ලෙස ආරම්භ කරා. මේ වන විට මේ රෝහලේ සෑම සායනයක් ම ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා. රෝහලේ නඩත්තු කටයුතුවලට අවශ්‍ය කරන  අරමුදල් සොයා ගැනීමේ අරමුණින් ඔහු රෝහලේ සේවයෙන් පස්සේ පැය දෙකක පමණ කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙනවා.

ඊට අමතරව ඔහුගේ පවුලේ ගොඩක් දෙනෙක් මේ රෝහල දියුණු කරන්න ඔහුට උදව් උපකාර කරලා තියෙනවා. මීට අමතරව රෝහලට අයත් භූමි භාගයක කෙසෙල් හා පොල් වගාවක් ආරම්භ කරන්න වෛද්‍යවරයා තීරණය කරනවා. ඒ ලැබෙන ආදායමත් රෝහලේ දියුණුව උදෙසා යොදවන්නට ප්‍රියශාන්ත වෛද්‍යවරයා අදහස් කරගෙන ඉන්නවා.

අවසාන වශයෙන් එතුමා සඳහන් කරන්නේ දැන් මේ වන විට රෝහල  ඉතාමත් සාර්ථක මට්ටමේ තියෙන නිසා නැවත වතාවක් ඔහු රෝහලකට මාරු වෙද්දී අංගසම්පූර්ණ රෝහලක් විදිහට මේ රෝහල ජනතාවට බාර දීලා යන එක මූලිකම අරමුණ කියලයි.

ඉතින් හිත්පිත් නැතුව සල්ලි පොදි බැඳගෙන ජීවත් වන්නට වෙර දරන මිනිස්සු අතර මෙවැනි වෛද්‍යවරුන් රටකට කොයි තරම් කොයිතරම් ආඩම්බරයක්ද යන්න ඔබත් මමත් සිතිය යුතු කරුණක්.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies