Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

විදේශීය ආකර්ෂණය දිනූ ලියෙන් හැඩවෙන ලංකාවේ අලුත්ම දුම්රිය මැදිරි

දවසින් දවස දියුණු වන ලෝකය දෙස බලද්දී විවිධ ආකාරයේ නව සොයා ගැනීම පිළිබඳව අපිට නිතරම අහන්න අවස්ථාව උදා වෙනවා. තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන මිනිසා ඉහලට ගමන් කරද්දී අලුත් දේවල් ලෝකයට දායාද කරන්නටත් අමතක කරන්නේ නැහැ.

රටක සංස්කෘතිය කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ සිරිත් විරිත් ගති පැවතුම් නිරූපනය කරන්නා වූ කැඩපත හා සමාන දෙයක්. ඉතින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය දෙස බලද්දී උප සංස්කෘතියක් ලෙස අපිට දායාද වුණු දුම්රිය සංස්කෘතිය කිසිසේත් අමතක කරන්නට බැහැ.

දුම්රියෙන් ගමනක් බිමනක් යන්න තියෙනවා නම් ඒ තරම් සැපතක් තවත් නැති තරම්. මනරම් තේ වතු ගස් කොළන් මැද්දෙන් දිවයන මේ දුම්රිය ගමන ඇත්තටම ගමන් කරන ගමනේ විඩාව නිවන අපූරු තෝතැන්නක් වගේ. ඉතින් අපේ විශේෂාංගය තුළින් අද අපි ඔබට කියන්නට යන්නේ රත්මලාන දුම්රිය වැඩබිමේ සාප්පු අංක 21 සහ විසි හතරේදී හැඩවැඩ වෙමින් නිෂ්පාදනය වන දුම්රිය ලී මැදිරි පිළිබඳවයි.

රටේම දුම්රිය ලෝලීන්ගේ අවධානය ගනිමින් මේ කාර්යය සඳහා අත ගසන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතායි. වර්තමානයේ මේ වනවිටත් භාවිතයෙන් බැහැර වෙමින් පවතින ලී මැදිරි යළි ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යය කාටත් නොකියාම ඔහු සිදු කරන්න පටන් ගන්නවා.

මේ නිසාම නොබෝ දිනකින් ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර ස්ථාන මැද්දෙන් ගමන් කරමින් ලීයෙන් නිමවු නැරඹුම් මැදිරියක මනස්කාන්ත දසුන් සමගින්  විවේකී ගමනාන්තයක් ලගා කර  ගැනීමට අවස්ථාව උදා වෙනවා නොඅනුමානයි

නිතරම ලොව අධි තාක්ෂණය භාවිත කරමින් නිපදවූ විදුලි දුම්රිය ගමන් සමඟ ඒකාකාරී දුම්රිය ගමනාන්ත වලට හුරු වී සිටින විදේශිකයන්ට මේ ආකාරයෙන් මහනුවර සිට ඇල්ල දක්වා සේවයේ යෙදවීමට යෝජිත මේ දුම්රිය මැදිරි තුළ හිතේ හැටියට ගිමන් නිවමින් තමන්ගේ සංචාරය පහසුවෙන් යන්නට පුලුවන්.

මේ ලී මැදිරි නිෂ්පාදනය කිරීමේ මූලිකම අරමුණ වන්නේ අනාගත පරපුරට එය දැකගත හැකි වන ආකාරයෙන් මෙවැනි  සංස්කෘතියක් රට තුළ පැවතුණා යන සංකල්පය ඔවුන් තුළ ස්ථාපිත කිරීමටයි.

දුම්රිය දෙපාර්තමේන්තු ශිල්පීන් විසින් සකස් කරනු ලැබූ සැලැස්මකට අනුව නිෂ්පාදනය වන මේ දුම්රිය මැදිරි  දක්ෂ වඩු කාර්මිකයන්ගේ අතින් තමයි හැඩ වැඩ වෙන්නේ. මේ එක් මැදිරියකට වැය වන මුදල දළ වශයෙන් රුපියල් මිලියන හතළිහක් පමණ වෙනවා.

මේ ලී මැදිරි නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නේ මහෝගනී කුඹුක් වැනි ලී විශේෂයි. කුඩා ලී පටි ලෙස සකසා ගනිමින් නිමවන මැදිරියක දිග අඩි 45ක්. මෙහි ජනෙල් නිර්මාණය කිරීම සඳහා ලූවස් පටි යොදා ගන්නවා. එක් මැදිරියකට ඣනෙල් දහයකට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කරන්න  තීරණය කරන්නේ පරිසරය දැක බලා ගැනීමට සියලුම දෙනාට අවස්ථාවක් සලසමින්.

අනාගත පරපුර නැවත වතාවක් දුම්රිය සංස්කෘතිය දෙස හැරී බලන විට ලී වලින් තැනූ මේ දුම්රිය මැදිරි පිළිබඳව මහත් ආඩම්බරයෙන් කතා කරනවා නොඅනුමානයි. ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය තුළින් මේ ආකාරයෙන් නැවුම් අත්දැකීමක්  සියලුම දෙනාට ලබා දීම නිසා  මේ ව්‍යාපෘතිය භාර සියලුම දෙනාට අපි හදවතින්ම ස්තූතිවන්ත වෙමු.

මූලාශ්‍රයේ ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies