Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් සාදික්කා චට්නියක් හදුන්වාදුන් දිරිය කාන්තාව

මුළුතැන්ගෙයි රසකාරකයන් අතර ප්‍රධාන ස්ථානයක් ගන්න රසකාරකයක් තමයි සාදික්ක කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ තැනින් තැන විශාල පිරිසක් සාදික්කා  වගාවේ නිරත වෙලා සිටිනවා. ඉතින් වෙලාවකට සාදික්කා කියන්නේ ඖෂධයක් විදියටත් භාවිතා කරන්න පුළුවන් දෙයක්.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඉවත දමන සාදික්කා ලෙල්ල භාවිතා කරලා අපූරු නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දුන් ධෛර්යසම්පන්න කාන්තාවක් පිළිබඳවයි. ඇය මහනුවර  උඩුවෙල  පදිංචි ශ්‍රීමතී ගුණසේකර මහත්මියයි.

ජීවිතයේ ඉන්න තැනින් නැගිටලා එක අඩියක් හරි ඉස්සරහට යන්න ඕනි කියන උදාර චේතනාව ඇගේ දැක්ම බවට පරිවර්තනය කර ගන්නා මේ දිරිය කාන්තාව තමන්ගෙම  කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මූලික අඩිතාලම දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. මේ ගමන් මගේ දී  ඇගේ මූලිකම ව්‍යාපාරය වුණේ කාන්තා ඇඳුම් මැසීම. මුලින් මුලින් පාසල් බෑග් මැහුව්ව ඇය  නගරයේ කඩ වලට සහ පාසල් වලට මේ බෑග් ලබා දුන්නා.

නමුත් කලට වෙලාවට මුදල් ලැබුණ නැති නිසා ඒ ව්‍යාපාරය තුළින් ඇයට ලැබුණේ පාඩුවක් විතරයි. නිරන්තරයෙන්ම සමාජයේ කාලය  ගතකරන ශ්‍රීමතී උඩුවෙල වත්ත ශ්‍රම ශක්ති කාන්තා සමිතියේ සාමාජිකාවක් වශයෙන් බැඳෙනවා. මේ සමිතිය වනිතා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ පිහිටුවනු ලැබු එකක් වීම විශේෂත්වයක්.

ටික කාලයක් යද්දි මේ සමිතියේ සභාපති ධුරය දරන්නට ඇයට අවස්ථාව උදා වුණා. මේ සමිතියට සහභාගි වෙන බොහෝ දෙනෙක්ට නිවසේ ඉදන් ස්වයං  රැකියාවක් විදිහට කරන්න පුළුවන් දේවල් පිළිබඳව පුහුණුවීම් ලබා දුන්නා. ශ්‍රීමතී මහත්මිය නම් සඳහන් කරන්නේ ඒ අතරින් කීප දෙනෙක් පමණක් අදාළ දැනුම ලබාගෙන ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ කරා කියලයි.

මේ සමිතියට සහභාගි වූ බහුතරයක් එයින් නිසි ප්‍රයෝජන ලබාගත නැහැ කියලත් අය සඳහන් කරා. මෙහෙම ටික කාලයක් යද්දි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මේ සමිතිය තුළින් කාන්තාවන්ට සාදික්කා චට්නි සහ ගම්මිරිස් සෝස් පිළිබඳව මනා පුහුණුවක් ලබා දෙන්න ක්‍රියා කරනවා.

ඒ ලබාගත් පුහුණුව ඔස්සේ ඉවත දමන සාදික්ක ගෙඩියේ ලෙල්ල අරගෙන සාදික්කා චට්නි නිෂ්පාදනය කරන්නට ශ්‍රීමතී මහත්මිය සූදානම් වුණා. අනතුරුව නිපදවු සාම්පල් පරික්ෂා කිරීමෙන් පසුව කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා අදාල තත්ව සහතිකය ඔවුන්ට ලැබෙනවා.

ඇය නිෂ්පාදනය කරන මේ නිෂ්පාදිතය ඇති සුවිශේෂී තත්ත්වය තමයි මේ චට්නි එක අවුරුද්දක දෙකක කාලයක් වුණත් කල් තියා ගැනීමට ඇති හැකියාව. ඒ වගේම කිසිම කෘතිම රසකාරකයක් මෙහි අඩංගු වෙලා නැහැ. මේ නිෂ්පාදනයේ අන්තර්ගත වෙලා තියෙන දේවල් තමයි සාදික්කා ලේලි,කුළුබඩු විනාකිරි සහ සීනි ආදියයි 

නිෂ්පාදිතයන් සඳහා අවශ්‍ය කරන සාදික්කා ලෙලි ඒ ප්‍රදේශයෙන්ම ඇය සොයාගන්නවා කියලා සඳහන් කළා. ශ්‍රීමතී මහත්මිය මේ ආකාරයෙන් නිෂ්පාදනය කරපු මුල්ම සාදික්කා චට්නි නිෂ්පාදනය ඇරගෙන ගියෙ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ප්‍රදර්ශනයකට.

මේ වගේ ප්‍රදර්ශන විශාල ප්‍රමාණයකට  සහභාගි වූ ඇයට මේ නිෂ්පාදනය පිළිබඳව සුබදායී ප්‍රතිචාරයන් පාරිභෝගිකයාගෙන් ලැබුණා. ඊට පස්සේ ටිකෙන් ටික නිෂ්පාදනය කරපු නිෂ්පාදන කඩවල් වලට දාන්න ඇය තීරණය කරනවා. මුලින්ම විකිණෙන්න නැතුව ඉතිරි බෝතල් පවා ලැබුණු අවස්ථා තිබුනාලු වියදම් කරපු සල්ලි අපතේ ගියාලු. නමුත් ඇය උත්සාහය අතාරින්නෙ නැහැ.

ඉදිරියේදී කුළුබඩු ආශ්‍රත මේ නිෂ්පාදනය අලෙවි කළ හැකි ආකාරයට අලෙවිසැලක් ස්ථාපිත කිරීම තමයි ඇගේ මූලිකම අභිප්‍රාය වෙන්නේ. ඒ වගේම පිටරට වලටත් මේ නිෂ්පාදිතය අලෙවි කරන්නට ශ්‍රීමතී මහත්මිය තීරණය කරලා තියෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නා වූ ඒ සියලු ම අපේක්ෂාවන් ඒ විදිහටම සාර්ථක වෙලා ව්‍යාපාරිකාවක් වශයෙන් ඉදිරියෙන් ම වැජඹෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ශ්‍රීමති මහත්මයට සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies