Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඉවත දැමූ බස් රථයකින් පාසල් පුස්තකාලයක් නිර්මාණය කරගත් පාසල් දරුවන්

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් අපි අහල තියෙනවා. මේ කියමනට අනුව මිනිස්සු දැනුමෙන් පෝෂිත වෙන්නේ කියවීම ප්‍රගුණ කළ විටයි. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් පුරුදු පුහුණු කළ යුතු ප්‍රධානම දේ තමයි කියවීම කියලා කියන්නේ.

කියවීම තුළින් ලබා ගන්ගන්නා දැනුමෙන් අවශ්‍ය කරන කඩඉම් විභාගවලට පෙනී සිට ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පාසල් දරුවන්ට අවස්ථාව උදා වෙනවා. ඒ නිසයි පාසල් යන වයසේ දරුවෙක්ට කියවීම ඉතාමත් වැදගත් දෙයක් කියලා බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. ඉතින් අපි අද පිට කියන්න යන්නේ කියවීම සම්බන්ධව අපූරු වැඩක් කරපු  කාටත් ආදර්ශමත් පාසලක් පිළිබඳවයි.

දෙහිඕවිට කලාපයේ යටියන්තොට කොට්ටාශයේ බුලත්කොහුපිටිය කියන  ප්‍රදේශයේ කඳු ශිකරයන්ගෙන් වටවූ අලංකාරයෙන් අනූන ගම් පියසක් කිව්වොත් නිවැරදියි. බුලත්කොහුපිටිය නේස්මියර් පහළ කනිෂ්ඨ විද්‍යාලය මේ ගම්මානය දරුවන්ගේ දැනුම මුහත් කරන ප්‍රධානම ස්ථානයයි.

මේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ඉගෙනගන්නා ළමුන් ප්‍රමාණය ළමුන් එකසිය විසි දෙකක් පමණ වෙනවා. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යන අතර ඔවුන්ට අමතර දැනුම ලබාගැනීමට සහ කියවීම පුහුණු කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රධානම දෙයක් මේ පාසල තුළ නැහැ.

ඉතාමත් දුෂ්කර ව පාසලට අවශ්‍ය කරන අනිකුත් පහසුකම් සපුරා ගත්තත් මේ පාසල සතුව දැනට නැති එකම දේ තමයි පුස්තකාල ගොඩනැගිල්ල. පුස්තකාල ගොඩනැගිල්ලක් නොමැති නිසා දරුවන්ට පුස්තකාලයක් පරිහරණය කරමින් කියවීම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වෙන්නේ නැහැ.

නමුත් ළමයින්ට ඒ අඩුව කොහොමහරි සම්පූර්ණ කරන්ට ඕනි කියල හිතපු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පන්ති කාමර දෙකක් මැද්දේ ඉතුරු වු පුංචි ඉඩ කඩක පොත් කීපයක් තබා පාසල් ළමුන්ට කියවන්නට අවස්ථාව උදා කරලා දුන්නා. නමුත් ටික කාලයක් මේ ක්‍රියාව සිදු කරද්දී ඒක සාර්ථක ක්‍රියාවක් නොවන බව ගොඩක් දෙනෙක්ට තේරුණා. හේතුව අවට පන්ති  පන්තිකාමර වල සිසුන්ගේ කෑගැසීමේ හඬත් සමග පොත් කියවන සිසුන්ට එය මහත් බාධාවක් වීමයි.

මේ පිළිබඳව සැලකිල්ලක්  දක්වපු විද්‍යාලයේ විදුහල්පතිතුමා තීරණය කරනවා මේ සඳහා අවශ්‍ය පියවරක් අර ගන්න ඕනේ කියලා. ඒ පිළිබඳව එතුමා අදහස් දක්වන්න තිබුණෙ  මේ ආකාරයෙන්.

මගේ මනසට නැවුම් අදහසක් පහළ වුණා. පැරණි බස් රථයක් රැගෙන විත් පාසලට අවශ්‍ය පුස්තකාලයක් ඒ තුළ නිර්මාණය කර ගැනීමට හැකියාවක් තියෙන බව මට වැටහුණා. මම මේ පිළිබඳව අපේ පාසලේ විදුහල්පතිතුමිය ට සහ ආචාර්ය අලවතුරේ රතනවංශ හිමියන්ට දැනුම් දුන්නා. ඔවුන් සියලුම දෙනා ඒ වැඩේ හොඳ අදහසක් අපි ක්‍රියාත්මක කරමු කියලා මගේ අදහස අනුමත කරා.

ඒ සියලුම දෙනා  එකතුවෙලා පාසලේ ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් භාවිතා කළ  නොහැකි තත්ත්වයේ තිබූ මේ බස් රථය නිදහස් කරගෙන පාසලට ලබා ගැනීමට ඔවුන් සමත් වුණා. මේ බස් රථය පාසලට රැගෙන ආවට පස්සෙ අවශ්‍ය ආකාරයේ ප්‍රතිසංස්කරණයන් කරන්න ඔවුන්ට යම්කිසි මුදලක් අවශ්‍ය වුණා.

සියලුම අභියෝගයන් වලට මුහුණ දෙන මේ පාසලේ විදුහල්පතිතුමා මේ සඳහා යෝජනා කරනවා දරුවන් සහ දෙමව්පියන් එකතු වෙලා  සල්පිලක් පවත්වන්න. ඊට පස්සේ එයින් ලැබුණු මුදලින් මේ බස් රථය නවීකරණය කරලා පුස්තකාලයක් අයුරින් සකස් කරනවා.

මෙහි පුස්තකාලයට අවශ්‍ය කරන පොත්පත් ආයතනයක් මඟින් පරිත්‍යාග කළ අතර ගමේ තරුණයෙක් ද මේ සඳහා අවශ්‍ය කරන පොත්පත් ලබා දීලා තියෙනවා. මේ වටිනා ක්‍රියාදාමය නිසා මේ වන විට පුස්තකාලය තුළට ඇවිල්ලා පොතපත කියවලා දැනුම ලබාගන්න සිසුන් බොහෝයි.

කොයි තරම් අඩුපාඩු තිබුණොත් අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක පහනක් හෝ දල්වා ජීවිතය ජය ජයගැනීමට උත්සාහවන්ත වීම මිනිසුන් වන අප සියලුම දෙනාගේ වගකීමයි. ඒ සඳහා කදිම උදාහරණයක් මේ පුංචි පාසලෙන් මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම මේ වන විට ලබා ලබා දී අවසන්.

මූලාශ්‍රයේ ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies