Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දරුවන් දා හත් දෙනෙක් ජාතියට තිළිණ කල කෙතහාමිගේ සෝමාවතී මාතාව

වැලේ ගෙඩි වැලට බර නැහැ කියලා පැරණි කියමනක් තියනවා. මේ කියමනේ යටි අර්ථය තමයි තම කුසින් මෙළොවට බිහි කළ දරුවන්  ලොකු මහත් කරන්න කොපමණ වෙහෙසක් දැරුවත් තමන්ගෙ මවුපියන්ට මේ දරුවන් බරක් නෙවෙයි කියන දේ. ඒ ආකාරයෙන් දුක්ගැහැට විඳගෙන මේ ලෝකයට දරුවන් දාහත් දෙනෙක් බිහි කරපු ධෛර්යසම්පන්න මාතාවක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ.

ඇය දරුවන් දාහත් දෙනෙක් මේ ලෝකයට බිහි කරන්නට වාසනාවන්ත වුණ කෙත හාමිගේ සෝමාවතී මාතාවයි.දරුවන් දහ දෙනෙක් මේ ලෝකයට බිහි කරනවා කියන්නේ මව් කෙනෙක් ජීවිත කාලය තුළ ලබන වාසනාවන්තම  අත්දැකීම කිව්වොත් නිවැරදියි. මේ පුණ්‍යවන්ත මාතාවට මේ වන විට වයස අවුරුදු අසූ දෙකක්.

හරිහැටි ජන්ම දිනයට දිනයට මතක නැතත් ඇය සදහන් කරන ආකාරයට මේ ලෝකයට උපත ලබන්නේ ඇය එක1937 වර්ෂයේ දී. සෝමාවතී උපාසිකාව පවුලේ එකම දරුවා. ඇය විවාහ වුණේ ඇයට වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල් අලුත් හල්මිල්ලෑව පදිංචිව සිටි මුදලිහාමිගේ ජයවර්ධන නැමැති තරුණයායි.

ඇගේ විවාහ ජීවිතය ගැන කතා කරද්දි  ඒ කාලේ සෝමාවතියේ මහත්මියගේ ගෙදර  ඇගේ ස්වාමිපුරුෂයා නිතර ආවා ගියා ලු. අප්පච්චිගේ ගොවිතැන් වැඩ වලටත් මේ තරුණයා උදව් කරලා තියෙනවා. මෙහෙම ටික කාලයක් නිවසට එද්දී සෝමාවතී මාතාවට ඔහු පිළිබඳව ආලවන්ත සිතක් පහළ වෙනවා. එතකොට ඇයට වයස අවුරුදු දහතුනක් විතර. අවුරුදු පහළොවක් විතර වැඩිමහල් ඔහු සමග  සෝමාවතී මහත්මිය හොරෙන් පැනලා අලුත් හල්මිල්ලෑව ඔහුගේ නිවසට එනවා.

පස්සේ මේ සිදුවීම ආරංචි වුණහම සෝමාවතී මහත්මියගේ නිවසේ උදවිය ඔවුන් දෙදෙනාම නිවසට නැවත එක්කන් ඇවිල්ලා හොඳට මගුල් ගෙයක් අරගෙන දෙන්නම කසාද බන්දනවා. ඊට පස්සේ සියලුම දෙනාගේ හොඳ හිත දිනා ගනිමින් ඔවුන්  කාටත් උදව් උපකාර කරමින් සාර්ථක විදියට ජීවිතය ගෙවන්න උත්සහ කරනවා.

මේ අතර සෝමාවතී මහත්මියට පළමු දරුවා බිහි වෙනවා. පළමු දරු උපත සිද්ධ වෙන්නේ වව්නියාව මහ ඉස්පිරිතාලෙදි.  එතැන් පටන් අවුරුදු එකහමාරකට විතර පසුව  විටින් විට දරුවන් දාහත් දෙනෙකුගේ ආදරණීය මවක් වෙන්නට  ඇයට වාසනාව උදා උනා. අනිත් දරුවන් දාසය දෙනාම ඉපදිලා තියෙන්නේ නිවසේදී. ඒ සඳහා උදව් උපකාර කරලා තියෙන්නේ වින්නඹු අම්මා කියලා සෝමාවතී මහත්මිය සඳහන් කළා.

මෙහෙම ටික කාලයක් ගත වෙද්දී අවුරුදු හැට හයක් සපිරුණු තැන  සෝමාවතී මහත්මියගේ ආදරණීය සැමියා මේ ලෝකෙන් සමු ගන්නවා. දරුවන් 17 දෙනෙකුටම කන්න බොන්න දෙන්න ඕනේ නිසා සෝමාවතී මාතාවත් ස්වාමිපුරුෂයා සමඟ හනි හනිකට හේනේ කුඹුරේ වැඩ කරනවා.

දරුවන්ව අරන් ගිහින් ඔන්චිල්ලාවේ එල්ලලා තියලා පැල හිටවන්න පැළවලට වතුර දාන්න ඇය තමන්ගේ ස්වාමියාට උදව් වුණා. එක්තරා අවස්ථාවකදී මේ දරුවන් දහ හත් දෙනාගෙන් එක්කෙනෙක් මේ ජීවිතය හැර යනවා. ඉතිරි දරුවන් දාසය දෙනාට කන්න බොන්න දෙන්න සෝමාවතී මාතාව සහ ඇගේ ස්වාමියා නිරන්තරයෙන්ම වෙහෙසුනා.

ඔවුන්ගේ කෑම වේල සදහා දඩ මසක් පලා වර්ගයක් ඒ වගේම එළවලුවක් එහෙමත් නැත්නම් වැව් මාළු කෑල්ලක් වරදින්නේ නැහැ. දරුවන් දාසය දෙනාටම ඔවුන් හොඳට කන්න බොන්න දුන්නා. වගා කටයුතු නැති කාලවල දී කුලී වැඩට යන්නත් ඔවුන් දෙදෙනා මැලි වෙන්නේ නැහැ. සමහර දවසට කුලී වැඩක් නැති උනහම දරුවන්ට කන්න බොන්න දෙන්න අවශ්‍ය කරන සීනි කිරිපිටි ආදී දේ ලබා ගැනීමට යමක් ගමක් තියෙන ගෙවල් වලට ගිහින් මුදල් කීයක් හරි ඉල්ල ගත්තු අවස්ථා තියෙනවා කියලා සෝමාවතී මහත්මිය සඳහන් කළා.

මෙහෙම කාලයක් ගත කරද්දි  ඔවුන් ජීවිතයේ එක්තරා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. එනම් ඔවුන් ජීවත් වුණු පැල්පත  තුළ හදිසියේම විශාල ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ ඉන්න තැනක් නැති වුණු නිසා සහ දරුවෝ ටිකත් එක්ක සැමියයි ඇයයි ගමේ වැව් පිටියේ ලොකු ගහක් යටට වෙලා රැය පහන් කරනවා. මාසයක් පමණ කාලයක් මේ ආකාරයෙන් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ඇය ගත කරනවා.

කෙසේ නමුත් මේ වෙනවිට  සෝමාවතී උපාසිකා මාතාව ජීවිතේ සැඳෑ සමය ගත කරමින් සිටිනවා ඒ කියන්නේ සියලුම දරුවන් උස් මහත් කරලා ඉතාමත් නිදහසේ ඇය ජීවත් වෙනවා ඇය මේ ලෝකයට බිහි කරපු දරුවන් අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ දරුවන් දොළොස් දෙනෙක් පමණයි.

කොයි තරම් බාධක දුක් ගැහැට තිබ්බත් තමන්ගේත් ආදරණීය දරුවන් ව  ආදරයෙන් රැක බලා ගත්  සෝමාවතී මහත්මිය ඉපදුනු ගමන් දරුවන් කුණු කූඩයට විසිකර දමා යන කාන්තාවන්ට කදිම උදාහරණයක්. ඉතින් මේ වාසනාවන්ත මෑණියන්ටත් තවත් චිරාත් කාරයක් ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies