Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශරීර සුවතා උපදේශකවරියක් වශයෙන් ජීවිතය ජයගත් අයෝමය ගැහැණිය

මේ ලෝකයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් විවිධාකාරයේ දක්ෂතාවලින් පිරිපුන් පුද්ගලයන්. නමුත් තමන්ගේ දක්ෂතාවය අඳුනගෙන ඒ දේවල් වැඩි දියුණු කර ගන්නේ ඒ අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. අද බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ඒකාකාරී ජීවිතයකට කොටුවෙලා.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒකාකාරී ජීවිතයකට කොටුවෙලා ඉතා දුකසේ ජීවිතය ගත කරපු කාන්තාවක්  පසු කාලීනව ජීවිතයේ හිනිපෙත්තටම ගමන් කරමින් ජීවිතය ජයගත් ආකාරය පිළිබඳවයි. ඇය නමින් ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පදිංචි  කිර්න් ඩෙම්බේලා යන කාන්තාවයි.

ඉන්දියාවේ ගොඩක් දෙනෙක්ට කිරින් අමුත්තියක් නෙවෙයි ඒ කියන්නේ ඇය ඒ මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණු චරිතයක්. ඇය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ චරිතයක් වෙන්නේ ශරීර සුවතා උපදේශකවරියක් වශයෙන්. මේ වන විට කිරන් ගෙන් සේවය ලබා ගන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් කිව්වොත් නිවැරදි.

46 හැවිරිදි වියේ පසුවන ඇය මස්පිඩු වලින් පිරි අයෝමය ශරීරයකට හිමිකම් කියන තරුණියක් කිරන් ව්‍යායාම කරමින් තමයි ඒ ආකාරයේ ශරීරයක් නිර්මාණය කර ගන්නේ. මීට අවුරුදු දහයකට කලින් කිරන්ගේ ජීවිතය සොඳුරු ජීවිතයක් නෙවෙයි. ඇය බොහෝ සෙයින් මානසික වශයෙන් විඳපු තරුණියක් එනම් දරු දෙදෙනෙක් සිටින සාමාන්‍ය පවුලක  ඇය ස්වාමියා සමඟ ජීවත් වුණා. 

ස්වාමියා සහ දරුවන් දෙදෙනා එක්ක ජීවත් වුණු කිරන්ට මුදල් වලින් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. නමුත් කිරන් නිරන්තරයෙන්ම නිවසටම සීමා වෙච්ච කාන්තාවක් බවට පත් වුණා. ඇගේ මූලිකම රාජකාරිය වුණේ දරුවන් කවා පොවා නහවා ගේ දොර  බලාකියා ගැනීමයි. නමුත් මේ ඒකාකාරී ජීවිතය නිසා ඇයට මානසික සහ කායික පීඩනයක් දිනෙන් දිනම දැනෙන්න පටන් ගත්තා.

එක්තරා දවසක මේ පීඩනය ඇයට දරාගන්න බැරි වුණු තැන 2006 වසරේ දිනක කිරන් සිහිසුන්ව ඇද වැටෙනවා. ඉතාමත් කඩිනමින් ඇයව රෝහල් ගත කර නිසා ජීවිතය බේරාගන්න  වාසනාව තිබුණා. ඊට පසු වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ කිරන් මේ ආකාරයෙන් සිහිසුන් වීමට ප්‍රධානම හේතුව ඇගේ  මොලයේ ලේ කැටියක් සිරවී තිබීම කියලයි.

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව ඇයට දිවි ඇති තෙක්ම ඖෂධ නියම වුණා. අතීතයේ ගායිකාවක් වශයෙන් ජීවිතය ජය ගන්නට ඇය උත්සාහ කළත් ඇගේ ඒ බලාපොරොත්තු සුනුවිසුනු වුණා. ඒ සියලුම පීඩනයන් එක්ක තමයි කිරන් මෙවැනි රෝගයකට මුහුණ දෙන්නෙ .

නමුත් දෙවැනි වර එවැනි තත්ත්වයකට මුහුණ නොදී  තමාගේ ඒකාකාරී ජීවිතය වෙනස් කරගන්න ඕනෙ කියන සිතුවිල්ල කිරන් තුළ තිබ්බා. ඊට පස්සේ නිකමට ඇයට හිතෙනවා උදේට උදේට ව්‍යායාම කරන්න පටන් ගන්න. නමුත් ඇගේ සැමියාගෙන් ලොකු කැමැත්තක් මේකට තිබ්බේ නැහැ.

ඒ කිසිවක් බාධාවක් කර නොගත් කිරන් සෑම උදෑසනකම 5ට අවදි වුණා. 5ට අවදි වෙලා නිවසට නුදුරින් තිබ්බ ශරීර සුවතා මධ්‍යස්ථානය ට ගිහින් ව්‍යායාම කරන්න පටන් ගත්තා. ව්‍යායාම අවසන් කරලා ආපහු ඇය ගෙදර එන්නේ ආදරණීය දරුවන්ව කවා පොවා පාසල්  යැවීමට සූදානම් කිරීමටයි.

ටික කාලයක් යන විට මේ ආකාරයෙන් ශරීර සුවතා සඳහා වැය කරන කාල වේලාව නිසා ඇයට මානසික වශයෙන් සහනයක් දැනෙන්න පටන් ගත්තා. ඇගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වීමත්  සමගම ශරීර සුවතා මධ්‍යස්ථානයට කිරන්ට නොගිහින් ඉන්න බැරි වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අයෝමය ශරීරයකට හිමිකම් කියන්නටත් ලස්සන ශරීරයක් සකසා ගන්නටත් කිරන්ට අවස්ථාව උදාවුණ. ජීවිතයේ එක් තැනකින් නැවතුනෙ නැති ඇය මේ වගේම ජීවිතේ විඳවන කාන්තාවන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න ඕනේ කියලා හිතලා ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරා.

ඇගේ කතාව දන්න බොහෝ දෙනෙක් ඇයගෙන් ශරීර සුවතාවය සඳහා උපදෙස් ලබා ගන්නට පැමිණියා. ඊට පස්සේ ටික කාලයක් යන විට මානසික සුවය වෙනුවෙන් කායික පෙරළියකට ලක් වුණු ශක්තිවන්ත කාන්තාවක් වශයෙන් ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා 

මේ වන විට සාර්ථක ශරීර සුවතා උපදේශකවරියක් වශයෙන් කටයුතු කරන ඇය ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසකටම තමන්ගෙ ඇඟේ හැඩය නිසි ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටිනවා.

එදා මානසික පීඩනයෙන් දිවි ගෙව්වා නම් මේ වන විට ඇගේ ජීවිතය නැති වී බොහෝ කල්. ජීවත් වෙන්න අවශ්‍ය කරන මානසික සතුට කිරන් විසින්ම හොයාගෙන ඇයගේ ජීවිතය සාර්ථක කර ගත්තා. එසේ නම් අපේ ජීවිතත් සාර්ථක කර ගැනීමට නම් ඒ සුදුසු  මාර්ගය සොයා ගත යුත්තේත් අපි විසින්ම නොවෙද

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies