Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දෙපාවාරු නැති පියාට සාත්තු කර ජීවිතය දිනන්නට පාසල් යන පුංචි දියණිය.

ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. තව කෙනෙකුට වාසනාවන්ත ජීවිතයක් හිමි වෙද්දී තවත් පුද්ගලයකුට ජීවිතය අවාසනාවන්ත ලෙස දිවි ගෙවන්නට සිදුවෙනවා. ඒ සියලුම දේට මූලික හේතුව වෙන්නේ  ඔවුන් සතු පෙර කුසල අකුසල කර්මවල කර්ම වල ප්‍රතිවිපාක විය හැකිය.

කෙසේ නමුත් ජීවත් වෙන්නා වූ ටික කාලය තුළ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම්  නොපිරිහෙළා පුංචි වයසේ ඉඳන් ඉටුකරන සිඟිති දියණියක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ. ඇයට වයස අවුරුදු අටයි. මේ පුංචි දියණිය මාවනැල්ල බැමිණිය වත්ත මහා විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දනුෂිකා ලක්ෂාණි හතරසිංහ දියණියයි. 

ඇය ජීවත් වෙන්නේ ඉතාමත් දුෂ්කර ස්ථානයක. අවුරුදු ගණනාවක් සුද්ධ පවිත්‍ර නොකළ   කැලේ හිරවුණු පුංචි නිවසක  ඔවුන් ජීවත් වෙන්නේ. මෙතරම් අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න පවුලක් තවත් ඉන්නවද කියලා දුටු ඕනෙම  පුද්ගලයෙක්ට අනිවාර්යෙන්ම හිතෙනවා.

මේ පවුල මෙතරම් අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ අවුරුදු පහකටත් වැඩි කාලයක ඉඳන්. ඒකට මූලිකම හේතුව තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ දෙවනගල පදිංචි මේ සිඟිති දියණියගේ පියා වන හතුරුසිංහ මහතා මෙයට වසර පහකට පමණ පෙර ගහකින් වැටි සුසුම්නාවට බරපතල ලෙස හානි සිදුවෙනවා.  නිරන්තරයෙන්ම තමන්ගේ පවුල රැක ගන්නට ගස් නැගීම ගල් කැඩීම වැනි ක්‍රියාවන් වල නිරත වුණු මේ පුද්ගලයා ඕනිම අවස්ථාවක මනුස්සයෙකුට උදවු කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

ඒ නිසාම එක්තරා දවසක මේ අනතුර සිදු වීමට ප්‍රථම ඔහු වැඩ කරපු කළුගල් වැඩපළේ හිමිකරුවාට වකුගඩුවක් දන් දෙනවා. ඊට පසුව ටික කාලයක් ගියාම තමයි ඔහු ගසකින් වැටිලා සුසුම්නාවට බරපතළ හානි සිද්ධ වෙන්නේ. එක් වකුගඩුවක් දන් දුන් නිසා ඔහු සැත්කමට භාජනය කිරීමටත් අවස්ථාව නැහැ.

එදා පරිත්‍යාගශීලී ලෙස  ඔහු සියලුම දෙනාට උදව් උපකාර කරත් හතුරුසිංහ. මහතාගේ අසරණභාවයට හව්හරනක් වෙන්න ඒ කිසිවෙක් අද ඔහු ගාව නැහැ. ඔහුගේ එකම සිඟිති දියණිය තමයි අත්තම්මත් එක්ක එකතුවෙලා සියලුම වැඩ පළ කරන්නේ.

සෙල්ලම් බඩුත් එක්ක කාලෙ ගත කරන්න ඕනේ ළමා කාලය තුළ තමන්ගේ පියාගේ මළ මුත්‍ර පවා  අදින මේ පුංචි දැරිය  පාසල් යන්නේ තනියමයි. ඇය පිළිබඳව අවධානය යොමු කරන විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දවසක් වෙන්කර ගෙන මේ පුංචි දියණියගේ නිවසේ ශ්‍රමදානයක් පටන් ගන්නවා.

හතර වටේම කැලේ වැහිලා තිබ්බ ගේ සුද්ද පවිත්‍ර කරලා අලුත් ඇඳන් මෙට්ට ඇඳ ඇතිරිලි ගෙනත් දීලා මේ මිනිස්සුන්ට පිලිවෙලට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සකස් කරන්න මේ ගුරු ගුරුමණ්ඩලය උත්සාහ කළා. මේ වන විට ඔවුන්ට පුළුවන් විදියට මේ දරුවා වෙනුවෙන් ගුරු මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර  ඇගේ අනාගතයේ හදන්න වගකීම භාර ගත්තා.

ඇයට සෙල්ලම් කරන්නට වත් වෙලාවක් නැහැ. ඒ තරම් ඇය තමන්ගේ පියා පිළිබඳව සැලකිලිමත්. ඇය දන්න එකම සෙල්ලම තමයි අත්තම්මා සමග ඉස්පිරිතාලයක් දාන එක. ඒ සෙල්ලමේ ඇය නිරත වෙන්නෙත් ඉඩලද පුංචි විවේක කාලය තුළ විතරයි. රජයෙන් කිසිම හව්හරණක් නැති මේ අන්ත අසරණ පවුලට කිසිවෙකු පිහිට වෙනවා නම් එය මානුෂීය අතින් කළ හැකි ඉහළම සේවයක්.

කෙසේ නමුත් ප්‍රියාගේ සියලුම වැඩ කටයුතු කරමින් ඉගෙනීම් කටයුතුවල හොඳින් නිරත වෙන්නත් මේ වයස අවුරුදු අටේ පුංචි දැරිය නිතරම උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට දෙවිවරුවන් ගුරුවරුන්  මේ වන විට ඇය වටා ඒකරාශී වෙලා සිටිනවා.

නිරන්තරයෙන්ම ඇය ඉගෙන ගන්නා පාසලේ ගුරුභවතුන් ඇයට අවශ්‍ය කෑම බීම ඒ වගේම පොත්පත් ආදී දේවල් ගෙනත් දෙන්නත් අමතක කරන්නේ නැහැ. සෙල්ලම් බඩුත් එක්ක සිහින ලෝක වල  ජීවත් වෙන්න ඕනි පුංචි කාලෙක තමන්ගේ පියාගේ සියලුම වගකීම් කරට ගත් මේ පුංචි දැරිය දෙමව්පියන්ට නොසලකා හරින බොහෝ දෙනෙක්ට කදිම උදාහරණයක්.

හතුරුසිංහ මහතා  රෝද පුටුවකට වෙලා කාලය ගත කරන නිසා ඔහුට තමන්ගේ වැඩ තනිවම කරගන්නට බැහැ. ඔහුව නා වන්නෙත් මේ සිඟිති දියණිය. ඒ වගේම තමයි වයසක අත්තම්මා අසනීප උනහම පරිප්පු හොද්දකුයි බතකුයි උයන්නෙත් මේ පුංචි දියණිය ම තමයි.

ඔබට හිතන්නට වත් පුලුවන් අවුරුදු අටක් වැනි පුංචි වයසකදී මේ තරම් වගකීම් ගොන්නක් සාර්ථකව ඉටු කරන්න ළමයෙකුට හැකි වේ ද කියලා. කෙසේ නමුත් මේ දැරිය ඒ සියලුම දේවල්  සිතේ ධෛර්යයෙන් සහ ගතේ ශක්තියෙන් කරන්න අමතක කරන්නේ නැහැ.

ඇයගේ ඊළඟ මූලිකම අරමුණ හොඳින් විභාගයන්ට මුහුණ දී ජීවිතය ජය ගෙන තමන්ගේ ආදරණීය ආත්තම්මා සහ පියාව  රැකබලා ගැනීමයි. ඒ හීනෙට ඉක්මනින්ම යන්නට ඇයට වරම් ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies