Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඇමරිකානු ඩොලර් බිලියන ඉක්මවූ වත්කම් හිම එකම ව්‍යාපාරික ලාංකිකයා

තමන්ට ලැබුණ ජීවිතය දිනා ගත යුත්තේ ජීවිතේ හිමි පුද්ගලයා විසින්මයි. ජීවිතය තුළ එකම ආකාරයක  දුක සතුටු පොදි බැඳගෙන අපට ජීවිතය ගෙවන්නට සිද්ධ වෙන්නේ නැහැ. මේ ජීවන ගමන තුළ දුක වැඩියෙනුත් සැප අඩුවෙනුත් ලැබෙන අවස්ථා බොහොමයි. නමුත් ජීවිතයට සතුට සැනසීම ළඟාකර ගැනීමට නම් මහන්සි වෙන්න ඕනි කාලේ තමන්ගේ උපරිම මහන්සියෙන් පුද්ගලයෙක් වශයෙන් සාර්ථක විය යුතුයි.

ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් දිවා රෑ නොතකා  ජීවිතය දිනන්නට ගොවිතැන් කළා. ඒ නිසා යාන වාහන නොගත්තත් කුසට අහරක් ඇතිව ස්වයං පෝෂිතව තමන්ගේ ජීවන රටාව ගත කරන්න ඔවුන් වාසනාවන්තයන් වුණා.

වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිස්සු නාගරීකරණය වීමත් සමගම ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් වැඩි වෙනවා . ඒ අවශ්‍යතාවයන් වැඩි වෙනවා සමගම ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන්ට අතමිට කාසි අවශ්‍ය වෙනවා.

නිවසක් ගත් විට ඒ නිවසේ ගෘහ මූලිකයා රැකියාවක් කරන්නේ නැහැ නම් ඇත්තටම ජීවිතය ගෙවනවා කියන්නේ ඉතාමත් දුෂ්කර දෙයක්. නමුත් දුක් මහන්සියෙන් පොඩ්ඩ පොඩ්ඩ හම්බ කරලා ජීවිතේ දිනපු මහා ව්‍යාපාරිකයන් පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවන් වලදී අහලා තියෙනවා.

ඉතින් ඒ චරිත කථාවන් තුළින් ඔබේ ජීවිතයට ගත යුතු ආදර්ශ බොහෝයි. ලෝකයේ ව්‍යාපාරිකයන් වශයෙන් ප්‍රසිද්ධ වූ බොහෝ පුද්ගලයන් තමන්ගේ තරුණ කාලේ හොදින් මහන්සි වෙලා වැඩ කටයුතු කරගෙන තමයි ඒ සාර්ථකත්වය අත් පත් කර ගත්තේ.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඒ වගේ සාර්ථකත්වයෙන් ජීවිතය ජයගත්  සමාගමක අයිතිකරුවෙක් පිළිබඳවයි. ඔහු නමින් ඉෂාර නානායක්කාර යි. ඔහුගේ සොඳුරුතම ව්‍යාපාරික මාවත තමයි LOLC  ව්‍යාපාර ජාලය. ඔහුගේ ජීවිතය සාර්ථක ම ස්ථානය මේ ආයතනයයි.

වර්තමානයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වශයෙන් හඳුන්වන ඉෂාර නානායක්කාරට අයත් LOLC ව්‍යාපාරය පසුගිය දිනක සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නවා. එනම් මෙරට කොටස් වෙළඳපළේ ඇමරිකානු ඩොලර්  බිලියනය ඉක්මවන වත්කම් හිමි පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට පත්වෙමින්.

ඒ හේතුව නිසාම  පසුගිය දින වන විට කොටස් වෙළඳපළේ ලයිස්තු සංගම් අතර  ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC  සමූහ ව්‍යාපාරය පත්වුණා. මේ ස්ථානය ලබා ගන්නේ ඔවුන් එම ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ රැඳුණු   john keells holdings සමාගම අභිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමත් සමගයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සමූහ ජාලයේ ව්‍යාපාරික ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබූ අතර  ඒ සමස්ත වෙළඳපල අගයෙන්  සියයට හයක් ඉක්ම වූ වටිනාකමක් බව  ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරනවා.

ඒ නිසාම මේ වන විට  LOLC සමාගමේ  කොටසක මිල රුපියල් 505 ක් ලෙසින් වාර්තාගත අගයක් වාර්තා වෙලා තියෙනවා. මේ ජයග්‍රහණය හේතුවෙන් ඉෂාර නානායක්කාර  මෙරට අංක එකේ ධනවතා ලෙසින් 2020වසරේ නම් කෙරූ අතර   ඔහු විසින් සිදුකළ කාම්බෝජියාවේ ඩොලර් මිලියන 603ක ආයෝජනය ඊට හේතු වුණා.

LOLC  සමාගම කියලා කියන්නේ  මේ වන විට ශ්‍රී ලංකාව තුළ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථාවන් හිමිකර දීපු සමාගමක්. ඒ තුළින් ඉහළටම ගිහින් රැකියා කරන බොහෝ පිරිසක් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඉෂාර නානායක්කාර  නැමති මේ පුද්ගලයාගේ  මේ විශිෂ්ට ජයග්‍රහණය නිසාම LOLC  සමාගම නව මුහුණුවරකින් ලෝකයට විවෘත වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක් වුණත් මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන්නා වූ විවිධ ව්‍යාපාරික අදහස් වලින් පරිපූර්ණ වූ මිනිසුන් නිසා ලංකාවේ ව්‍යාපාරික අංශය මේ වන විට කැපී පෙනෙන ප්‍රවණතාවයන් අත්පත් කරගෙන අවසන්. ඒ තුළින් රටට අමතර ආදායමක් වගේම විදේශීය විනිමය ළඟා කර ගැනීමට ද අවස්ථාව උදා වෙනවා.

ඉදිරියේදිත්  ඉෂාර නානායක්කාර වැනි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නොමැකෙන මංසලකුණු කරපු ව්‍යාපාරිකයන් තව තවත් මේ ලංකාදීපය තුළ බිහි වේවායි කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies