Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කරාටේ ශූරිය දිනු පෙරේරා

ක්‍රීඩාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතය  නිරෝගීව පවත්වා ගැනීම සඳහා මිනිසකුට භාවිතා කරන්න පුලුවන් අපූරු ආයුධයක්. නීරෝගිකම පමණක් නොව මානසික ශක්තිය ආධ්‍යාත්මික සුවය ආදී හැඟීම් සමුදායක් ලබා ගැනීමට හොඳම දෙයක් තමයි ක්‍රීඩාව කියලා කියන්නේ.

ක්‍රීඩාව තුළ නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙක් තුළ තියෙන හික්මීම ඒ වගේම ස්වයං  පාලනය ආදී බොහෝ දේවල් එදිනෙදා ජීවිතයේදී මිනිසකුට ළඟා කර ගැනීමට අපහසු ගුණාංගයන්. අපි අද ඔබට කියන්නට යන්නේ හික්මීම ස්වයං  විනය ආදී සියලුම දේ මනා කොට සංවර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර තරග පිටිය අතික්‍රමණය කරපු තරුණියක් පිළිබඳවයි.

ඇය නමින් දිනූ පෙරේරායි.ඇය පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න පටන් ගන්නෙ ශ්‍රී ලංකාවේ නාමය කරාටේ ක්‍රීඩාවෙන්  ජාත්‍යන්තරයට රැගෙන ගිය දක්ෂ ක්‍රීඩිකාවක් වන නිසයි. මේ වන විටත් ජාත්‍යන්තර තරග කීපයකටම සහභාගි වූ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක්ම හිමිකර ගන්නට සමත් වුණා. ඇගේ දක්ෂතාවය කොතෙක්ද කියනවා නම් මේ වන විට ඇය දිනූ පදක්කමක් ප්‍රමාණය අටසීයක් තරම් වෙනවා.

වසර 20 ක තරම් කාලයක් ජ්‍රීඩාවේ නිරත වෙලා ඉන්න දිනු පෙරේරා මේ වෙද්දි ජීවත්වෙන්නේ කඩවත ප්‍රදේශයේ. රට තුළ පවතින තත්වය නිසා ගෙදරට වෙලා කාලය ගත  කරත් ඇය දිනපතා පුහුණුවීම් කරන්න අමතක කරන්නේ නැහැ. 

දිනූගේ පවුලේ අයත් එක්ක ගැහැණු ළමයි හතර දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි එක්ක ගැහැණු ළමයි හතර දෙනෙක් මේ වෙද්දි ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. නමුත් ටික කලකට කලින් ඔවුන්ට හිටපු එකම සහෝදරයා ඒ කියන්නෙ අයියා හදිසි අනතුරකින් නැති වෙනවා.

ඒ කෙසේ නමුත් ඒ සියල්ලම අකා මකා යන ආකාරයේ පවුලේ වගකීම් කරට ගන්න දිනූට හැකියාවක් ලැබිලා තියෙනවා. ඇය කරාටේ ක්‍රීඩාව ආරම්භ කරන්නේ වයස අවුරුදු හයක තරම් පුංචි කාලේ. මුලින්ම මේ සඳහා ඇයට මේ ගැන ආස හිතෙන්නෙත් ජැකී චෑන් ගෙ චිත්‍රපටයක් බැලුවට පස්සේ.

ඊට පස්සේ මේක ක්‍රීඩාවක් විදිහට කරන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු එකොළහක් වෙද්දි. අම්මා නම් මුලින් කැමැත්තක් දක්වලා නැහැ. ඇය කියලා තියෙන්නෙ පිරිමි කරන ක්‍රීඩා කරන්න ගිහින් ඇඟපත තුවාල කරගන්න එපා කියලා. නමුත් ඇගේ කැමැත්ත මත මේක ක්‍රීඩාවක් විදිහට තෝරාගෙන ඉදිරියට කරවන්න ඇය තීරණය කරනවා. එලෙසම මේ වෙද්දි කරාටේ ක්‍රීඩාවේ නිරත වෙලා වසර විස්සක් විතර වෙනවා කියලා දිනූ සඳහන් කළා.

පියා ඉතාමත් දුක් මහන්සියෙන් හම්බකරන මුදල් තමයි ඇගේ ක්‍රීඩාවන් සඳහා යොමු කරන්නේ. ඒ කියන්නේ දිනු ට මේ වන තුරු අනුග්‍රහය දක්වන්න සමාගමක් හෝ පුද්ගලයෙක් නැහැ. ඒ කෙසේ නමුත් ඒ සියල්ලටම  තමන්ගේ දක්ෂතාවය පරද්දන්න ඉඩ නොදෙන දිනූ මේ වෙද්දි 6 වන ලෝක ගොචුකායි කරාටේ  ශූරතාවලියේ kg 55 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමටත් 8 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ රන් පදක්කමත් 2015 වර්ෂය ආසියානු කරාටේ ශූරතා ශ්‍රේණිගත කිරීම් වල පස් වැනි ස්ථානය දිනා ගැනීමටත් අවස්ථාව උදාකර ගත්තා.

වසර පහක පමණ කාලයක සිට ජාතික කරාටේ කණ්ඩායමේ නායකත්වය දරන ඇය මේ ක්‍රීඩාවට ජීවිතේම කැප කරපු නිසා  අහිමි වුණු දේවලුත් තියෙනවා කියලා සඳහන් කළා. ඒ කියන්නේ ක්‍රීඩා කරද්දී එක්තරා අවස්ථාවකදී ඇගේ දත් දෙකක් කැඩිලා තියෙනවා. ඒ වගේම අනපේක්ෂිතව විවිධ ආකාරයේ ආබාධ වලට ලක්වෙලා තියනවා කියලත් ඇය සඳහන් කළා.

කෙසේ නමුත් ඒ අභියෝගයන් සියල්ලම දරාගෙන ඉදිරියට ජීවිතය ගතකරන මේ අපූරු කාන්තාව තාමත් තනිකඩ තරුණියක්. ඉදිරියේ දී ඔලිම්පික් ක්‍රීඩා බිම නියෝජනය කිරීමට ඇය සතුව තියෙන්නෙ  ඉතාමත් අවිහිංසනීය හීනයක්. ඒ හීනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින් ම ඇයට  සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies