Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දවසේ ආදායම 75000ට වැඩි මින්නේරිය වැව අයිනේ බුලත්විට කඩේ

බුලත් විටක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ අපිටම පමණක් ආවේණික වූ දෙයක් කිව්වොත් නිවැරදියි.ඒ නිසාම ශ්‍රී ලංකාව තුළ අස්සක් මුල්ලක් නෑර ඕනෙම තැනක බුලත්විට කඩයක් නම් අපිට හොයාගන්න එතරම් අමාරු නැහැ.

නීදි මත, පාළුව, කාන්සිය වගේ හැඟීම් මකාගන්න බොහෝ දෙනෙක් බුලත් බුලත් විට හැපීම සිදු කරනවා. වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් බුලත් විටක් කන්න පුරුදු වෙලා. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ බුලත්විට කඩේකින් ජිවිතේ ජයගත් අපූරු තරුණයෙකුගේ කතාවයි.

දිනකට බුලත් විට  එක්දහස් පන්සියයක් පමණ විකුණා සිල්ලර කඩේකට නොදෙවෙනි වෙළඳාමක් සිදුකරන පුද්ගලයෙක් තමයි නාලක කියලා කියන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර බුලත්විට ප්‍රමාණයක් විකුනන්නෙ කොහොමද කියලා.

ඔහුගේ උත්සහය සහ කැපවීම මත  මේ වන විට දෛනිකව රුපියල් 75,000 ක ට වැඩි ආදායමක් ඔහුට උපයාගන්න හැකියාව ලැබෙනවා ලු. මින්නේරිය වැව පාමුලට වෙන්න පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ  මින්නේරිය නගරය පසු කරගෙන යද්දි හබරණ පැත්තට  පොඩි දුරක් යන විට ආයුර්වේද දිසා රෝහලට නුදුරුව  තමයි නාලකගෙ බුලත්විට කඩේ පිහිටලා තියෙන්නේ.

වසංගත රෝග තත්ත්වය නිසා සියලුම නිෂ්පාදන කටයුතු අඩාල වුණු අවධියක වුණත්  ඉතාමත් පහසුවෙන් දවසකට  බුලත්විට එක්දාස් පන්සියයක් පමණ අලෙවි කිරීමට නාලකගෙ බුලත් විට කඩේට අවස්ථාව ලැබෙනවා. කොතරම් මිල ඉහළ ගියත් පහළ ගියත් නාලකගෙ බුලත්විට කඩේ බුලත් විටක්  අලෙවි වන්නේ රුපියල් 50ක මිලට බව ඔහු සඳහන් කළා.

පාපැදියේ පටන් සුඛෝපභෝගී වාහන වලින් ගමන් කරන උදවිය පවා මේ කඩේ අසල නැවතිලා නාලක ගෙන් බුලත්විටක් ඇරගෙන යන්න අමතක කරන්නේ නැහැ. මේ බුලත්විට කඩේ මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ නාලකගෙ අම්මයි තාත්තයි ඒ 1960 විතර කාලේ.

පවුලේ දරුවන් අට දෙනෙක් ජීවත් කරවන්න ඕන නිසා මේ වගේ කඩයක් ඔවුන් විසින් ආරම්භ කළා කියලා තමයි නාලක සඳහන් කරන්නේ. සුපිරි බුලත් විටක් කියලා නාලකගෙ කඩේ බුලත්විට ගන්න ඕනෙම කෙනෙක් අනිවාර්යෙන්ම කියනවා කියලා ඔහු සඳහන් කළා.

සාමාන්‍යයෙන් බුලත් විටක් සකස් කරද්දී පුවක් ගෙඩි තුනක් කපලා ඒ වගේම බුලත් කොළ පහක් හුණු දුම්කොළ උවමනා තරම් ආදී සියලුම දේ ණය නැතුව අවශ්‍ය මුදලට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්න නාලක හැම වෙලාවෙම ක්‍රියා කරනවා. ඒ නිසාම දවසින් දවස ඔහුගේ වෙළඳාම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් දිනක බුලත් විටක් සකස් කිරීම සඳහා පුවක් ගෙඩි 3500 ක පමණ ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම බුලත් කොළ හය දහසකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍යයි. මේ බුලත්විට වර්ග දෙකක්  ඔවුන් සකස් කරනවා සිංහල දුම්කල සහ පැණි දුම්කළ කියන බුලත්විට වර්ග දෙකම මේ කඩේ තියෙනවා.

නාලකගෙ ව්‍යාපාරය දියුණු වීමත් සමගම දෛනික ආදායම රුපියල් 75000 පමණ මුදලක් ලබාගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. දවසේ වෙළඳාම පාන්දර 4 ට පටන් ගන්නා නාලක ඈත දුර යන වාහන වලට මේ බුලත් විට විකුනනවා. පසුව වෙළදාම අවසන් කරන්නේ රෑ 10 ට විතර.

බුලත්විට කඩේ ට අමතරව මේ වෙද්දි නාලක තේ කඩයක් ද පවත්වාගෙන යනවා. මේ කඩේ ආප්ප,පිට්ටු,ඉදි ආප්ප,ලැවරියා තෝසේ ආදී කෑම බීමද තියෙනවා. තවමත් විවාහ වෙලා නැති නාලක උත්සාහයෙන් ජීවිතය දිනන්න තමයි හැම වෙලාවෙම උත්සුක වෙන්නේ.

බුලත් විටක් විකුණා මෙතරම් ආදායමක් ලබා ගැනීමට හැකි වෙන්නේ ඔහුගේ ඇති නිරන්තර කැපවීම සහ ධෛර්යය නිසාම විය යුතුයි. එසේ නම් මේ අපූරු වෙළඳාම දිනෙන් දිනම දියුණු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු .

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies