Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

බුලත් විටක් වෙනුවට ආයුර්වේද ඔසු විටක් හඳුන්වා දුන් අපූරු යහළුවන් තිදෙනා

බුලත් විටක් කියලා කියන්නේ අතීතයේ පටන් අද දක්වාත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා බැඳුණු  අපිටම ආවේණික වූ දෙයක් කිව්වොත් නිවැරදියි. ඈත අතීතයේ බොහෝ මිනිසුන් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළා. මෙහෙම වැඩ කටයුතු කරද්දී ඒ වෙහෙස පාළුව කාන්සිය මහන්සිය නිවා ගැනීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම සිදු කළේ බුලත්විට හපන එක.

නමුත් වර්තමානයේ දී බොහෝ වෛද්‍යවරුන්ගේ මතය අනුව බුලත් විට කෑමෙන් විවිධාකාරයේ වූ බරපතළ රෝගී අවස්ථාවන්ට මිනිසුන්  මුහුණදීලා තියෙනවා.  ඒ අතරින් මුඛ පිළිකා ප්‍රධානම අවාසනාවන්ත සිදුවීමක්. වතු ආශ්‍රිත ජනතාව ප්‍රධාන වශයෙන්ම තේ දලු නෙලීම වැනි දුෂ්කර කාර්යයන්  සිදු කරන අවස්ථාවන් වල දී බුලත්විටක් සැපයීම නිසා  මේ මුඛ පිළිකා කියන තත්ත්වයට අද වන වනවිට මුහුණ දීලා තියෙනවා කියලා වෛද්‍යවරුන් සඳහන් කරනවා.

කෙසේනමුත් විවිධ පරීක්ෂණයන්ට අනුව   පුවක් කෑල්ලෙ විවිධාකාරයේ පිළිකා කාරක අඩංගු වෙලා තියෙනවා කියලා  හොයාගෙන තියෙනවා. කෙසේ නමුත් මේ  බුලත් විටක් වෙනුවට ඉතා රසවත් ඔසු විටක් නිෂ්පාදනය කිරීමට  තරුණ නීතීඥයෙක් වන චමින්ද රූපසේනත්,භෞතික විද්‍යා ගුරුවරයකු වන චානක රණසිංහත්,ඉංජිනේරුවකු වන ඉන්දික සිල්වෙස්ටර්  යන මිතුරන් තුන්දෙනාට හැකියාව ලැබෙනවා.

මෙහිදී ඔවුන්ගේ මූලිකම  තේමා පාඨය වන්නේ බුලත්විට කාලා රෝගී වෙමුද? නොඑසේ නම් ඔසුවිට කාලා නිරෝගී වෙමු ද ? කියන තේමා පාඨයයි. මේ ආයුර්වේද නිෂ්පාදනය ඔවුන් විසින් හඳුන්වා දෙන්නේ බුලත් විටක් චුයින්ගම් ආදී දේවල් සඳහා තදබල ලෙස ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහායි.

මේ නිෂ්පාදකයන් තුන්දෙනාම එක ගමේ එකට හැදුනු යාලුවෝ. ගමේ ගොඩේ කාලය ගත කරද්දි ඔවුන් තුන්දෙනා කල්පනා කරනවා තේ බීලා මොනවා හරි හපන්න තියේ නම් හොඳයි කියලා. ඒ අදහස අනුව ඒකට  විකල්පයක් වශයෙන් තමයි ආයුර්වේද පොත් පත් පිළිබඳ දැනුම සොයා බලා මේ අපූරු නිපැයුම ඔවුන් විසින් හඳුන්වා දෙන්නේ

මේ ඔසුවිට තුළ අරළු ,බුළු,නෙල්ලි,සාදික්කා ,වසාවාසි ,එනසාල්,කරද මුංගු ,මූණමල් පොතු ,අරත්ත,වැල්මී ,මයිල පොතු ,කුරුඳු ආදී දේශීය බෙහෙත් වර්ගයන් සහ මී පැණි ද මිශ්‍ර කර තිබෙනවා. මේ ඔසුවිට කොලොස්ට්‍රෝල් ,අධික රුධිර පීඩනය,අර්ශස් රෝග පාලනය වැනි දේවල් සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වශයෙනුත් ඔවුන් සඳහන් කරනවා.

මුලින්ම ඔවුන් විසින් නිෂ්පාදනය කරපු මේ නිෂ්පාදනය ලංකාවේ කාර්මික හා තාක්ෂණ ආයතනය වෙත යොමු කරා. එහි තත්ත්වය හොඳ අතක තිබුණ නිසා 2017 දෙසැම්බර් මාසෙදි  කාර්මික තාක්ෂණ ආයතනයේ ඇගයීම් සහතිකය ලැබුණා. ඊට පස්සේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගන්නා ඔවුන්  මේ නිෂ්පාදනය කරපු ඔසුවිට  රුපියල් 50 ක් වැනි සුළු මුදලකට වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා.

ඒ වගේම මේ නිෂ්පාදනය තුළ කිසිවිටකත් පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොමැති බවත් කල්තබාගැනීමේ ද්‍රව්‍ය ඔවුන්  භාවිතා කරලා නැහැ කියලා සඳහන් කරනවා.  කෙසේ නමුත් ඔවුන්ගේ මූලික ම අභිමතාර්ථය උනේ බුලත් විටක් වෙනුවට ආදේශකයක් වෙළඳපොළට හඳුන්වාදීමට. මේ වන විට ඒ උත්සාහය සාර්ථක වෙලා අවසන්.

ඉතින් ඉදිරියේදීත්  මෙවැනි ම නව නිෂ්පාදන රාශියක් සිදු කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා  එක් කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies