Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දෑස් නොපෙනුනත් අවුරුද්දක් පාසල් ගිහින් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණු පුංචි උදිත

අගය කළ යුතු මිනිසුන් පිළිබඳව බොහෝ අවස්ථාවන්වල දී අපි කතාබහ කරන්නේ නැහැ. නමුත් අපි විශේෂ අවධානයක් දෙන්නේ නැති කිසිම දෙයක් කරගන්න බැහැයි කියල හිතන සමහර පුද්ගලයන් විශිෂ්ට ලෙස ජීවිතය දිනනවා අපි නොයෙක් අවස්ථාවන්වලදී දැකලා තියෙනවා. නමුත් ඔවුන්ගේ උත්සහයට නියමිත අගය කිරීමක් මේ වන තෙක් ලැබිලා නැහැ.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ බොහෝ දෙනෙක් නොදන්න අපූරු කතාවක් පිළිබඳවයි. මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් විවිධ ආකාරයේ රෝගාබාධයන්ට මුහුණ දෙනවා. ඒ රෝගයන් ජීවිතයට පැමිණෙන ආශිර්වාදයක් ලෙස සලකා ජීවිතය ජයගන්නට මිනිසුන් සිතනවා නම් කිසි විටෙකත් අනුන් මත යැපෙමින් කාලය ගත කිරීමට ඔවුනට සිද්ධ වෙන්නේ නැහැ.

ඉතින් අපි අද ඔබට කියන්න යන කතාවේ ඉන්න මේ පුංචි පුතා නමින් උදිත ශාලුක හේෂාන් සිල්වායි. ඔහු පිළිබඳව විශේෂයෙන් කතා කළ යුත්තේ  විශේෂිත දරුවෙක් වශයෙන් සාමාන්‍ය සිසුන් සමඟ 2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමින් ඉහළම ලකුණු ලබා ගනිමින්   විශිෂ්ට ලෙස ඔහු ජයග්‍රහණය කළ නිසයි.

උදිත ඉගෙන ගන්නේ කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ. ඔහු 2020 වර්ෂයේ දී 5 වසර ශිෂත්ව විභාගයට පෙනී සිටිනවා. නමුත් දුශ්‍ය ආබාධිතව  මෙලොව එළිය දකින මේ පුංචි පුතාට අවුරුද්දක්වත් ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැහැ.

ඔහු 5 වසර ශිෂත්ව විභාගයට සූදානම් වුණේ අනේක විධ බාධා මැද්දේ. අවුරුදු දෙක තුනක්ම පාසල් යන්න නැතුව ඔහුගේ ළමා කාලය ගෙවුණේ  ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල සහ ඇස් වාට්ටුව තුළයි. උදිතගේ පියා සහ මව නිරන්තරයෙන්ම තමන්ගේ දරුවාගේ දෑස් දෙක පාදන්න නොකළ දෙයක් නැහැ.

ඒ සඳහා ඔහු සැත්කම් විසි හයකට පමණ මේ වන විට මුහුණ දී අවසන්. නමුත් ඔහුට ලෝකය දකින්නට දෑස් දායාද කරන්න දෙමව්පියන්ට වත් වෛද්‍යවරුන්ටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කාලය තුළදී උදිතගේ මව හිතනවා පුතාගේ අධ්‍යාපන මට්ටම සංවර්ධනය කරන්න ඕනේ කියලා.

ඔහුගේ වයස අනික් ළමයි ඉස්කෝලේ ඉගෙනගද්දි උදිත රෝහලක වාට්ටුවකට වෙලා කාලය ගත කළා. ඔහුගේ මව මේ සඳහා පියවරක් ගනිමින් පාසලේ විශේෂ අධ්‍යාපනය ඒකකය සතුව තිබූ රෙකෝඩ යන්ත්‍රයක් භාවිතා කරමින් එදිනෙදා උගන්වන සියලුම දේ රෙකෝඩ් කර දරුවාට අහන්න සැලැස්සුවා.

දකින්නට වාසනාව නැතත් අසන්නට වාසනාව තියෙන උදිත මේ සියලුම පාඩම් හොදින්  ධාරණය කර ගත්තා. මීට අමතරව ඔහුගේ මව ශබ්දනගා ඔහුට ඇසෙන සේ පාඩම් කියෙව්වා. ප්‍රතිකාර අවසන් වුණාට පස්සේ පාසල 4 වසර අන්තිම වාරය වන විට ඔහුට පාසල් යන්නට හැකි තත්ත්වයක් උදා උනා.

ඔහු පාසල් ගියත් සාමාන්‍යයෙන් පාසලේ සිටින අනෙක් දරුවන්ගේ මට්ටමත්  සමග තරග කරන්න බැරුව ගියා. ඒ නිසා අතපසු වුණු විෂය කරුණු ස්වේච්ඡාවෙන්ම පුංචි උදිතට උගන්වන්න පාසලේ ගුරුභවතුන් තීරණය කරනවා.

මීට අමතරව ප්‍රදේශයේ අමතර පන්ති කළ ගුරුවරයෙක්ද නොමිලේම ඔහුගේ පාඩම් වැඩවලට උදව් උපකාර කළා කියලා සඳහන්. ඉතාමත් අඩු පහසුකම් යටතේ අඩු කාලයකින් අධ්‍යාපනය ලබලා සාමාන්‍ය සිසුන් අතරින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි උදිත ශිෂ්‍යත්ව කඩයිමෙන් ලකුණු 178ක් ලබා ගනිමින් ඉහළින් සමත් වෙන්න ට වාසනාවන්ත වුණා.

ඉවසීමෙන් කැපවීමෙන් ජීවිතය දිනපු ඔහු සියලුම දෙනාට කියා දුන් පාඩම තමයි අභියෝගයන් ජය ගෙන ජීවිතයේ ඉදිරියට යා යුතුයි කියන අපූරු පණිවිඩයයි. ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමටයි.

ඒ සඳහා ඔහුට ලබා ගත යුතු උපකරණ කීපයක් තියෙනවා. මොකද ඔහු විශේෂ අවශ්‍යතාවයන්ගෙන්  පෙලන පුද්ගලයෙක් නිසා මේ උපකරණ අනිවාර්යෙන්ම ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක අත්‍යවශ්‍යයි. ඒ සියලුම දේ සම්පූර්ණ කර ගැනීමට තරම් ආර්ථික වත්කමක් ඔහු සතුව නොමැති වුණත් කෙසේ හෝ ඉගෙනීමෙන් ජීවිතය ජය ගන්නවා කියන උදාර බලාපොරොත්තුව නම් පුංචි උදිත තුළ එදාත් අදත් හෙටටත් තියෙනවා.

ඉතින් ආබාධිත වුණත් ජීවිතයේ පුංචි තැන ඉඳන් දිනන්නට වෙර දරන මේ පුංචි පුතාට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත 

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies