Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අවුරුදු 21න් කොරියාවට ගිහින් සරුවට වවලා කොරියාවේ හැම තැනටම එළවළු බෙදෙන ශ්‍රී ලාංකීය යුවළ

ජීවිතය කියන්නේ  හරි පුදුමාකාර දෙයක්. අද දුක් වින්දොත් හෙට සැප විඳින්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. ඉතින් දුක සැප කියන දේ ජීවිතයේ අපිට උරුම වුණු දෙයක්. සැප ලබාගන්න නම්  අනිවාර්යෙන්ම අපි ජීවිතය සාර්ථක කරගත යුතුයි.

සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්    මහන්සි වෙන්න ඕනි කාලේ හාන්සි වෙන්නැතුව වෙහෙසිලා වැඩ කරලා හාන්සි වෙන්න ඕනි කාලේ මහන්සි නොවී පාඩුවේ සැදෑ සමය ගත කරන්න අවස්ථාව උදා කරගන්නට පුළුවන්  හරියාකාරව බැලුවොත් ඒක තමයි ජීවිතේ කියන්නේ.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ අවුරුදු විසි එකෙන් කොරියන් රාජ්‍යයට රැකියාවක් සොයා ගෙන ගියපු අපූරු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතය දිනපු ආකාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා නව්ෂාන් සහ ඉෂාරයි. නව්ෂාන් අවුරුදු විසි එකෙන් තමයි කොරියන් රාජ්‍යයට  ශ්‍රමිකයෙක් විදිහට ලංකාවෙන් පිටත් වෙන්නේ.

ඔහු ඊට කලින් ශ්‍රී ලංකාවේ දී ජීවත් වුණේ ඉතාමත් ආර්ථික අපහසුතා මැද්දේ. ඒ වගේම උසස් පෙළ විභාගය අවසන් කරලා රැකියාවක් විදිහට ඔහු කළේ ත්‍රීවිල් පදවන එක. නමුත් ඒ තුළින් ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකි නිසා හැමදාමත් දුකම විඳින්නට සිදුවෙයි කියන චේතනාව ඔහු තුළ තිබ්බ නිසාත් කොරියන් රටට රැකියාවක් බලා ශ්‍රමිකයෙක් විදිහට එන්න ඔහු තීරණය කරනවා. 2004 වර්ෂය දි තමයි ඔහු කොරියන් රාජ්‍යයට පැමිණෙන්නේ.

ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ ඉෂාරා කියලා කියන්නෙත් අවුරුදු විසි එකේදි කොරියන් රටට ශ්‍රමිකයෙක් ලෙස පිටත් වුණු තරුණියක්. ඊට කලින් ඇය ශ්‍රී ලංකාව තුළ දී ඇඟලුම් සේවිකාවක් වශයෙන් ඇඟලුම්  කර්මාන්ත ශාලාවක වැඩ කරලා තියෙනවා. නමුත් ඒ තුළින් ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවීම නිසා ඇය තීරණය කරනවා විදෙස්ගත වෙන්න.

ඉතින් ගැහැණු කෙනෙක් ට කොරියන් රටේ වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් හොඳට ගතේ සිතේ ශක්තිය තියෙන නිසා ඇයට  ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් වුණේ නැහැ. ගන්න වැටුපට හරි යන්න ඔවුන් දෙදෙනාම ඒ අදාල ආයතන වලට සේවය සැපයුවා.

මේ යුවළ කොරියන් රාජ්‍යයට එන්න කලින් දෙන්නට දෙන්නා දන්නෙ නැහැ. ආවට පස්සෙ මිතුරෙකුගේ ඇඳුනුම් කමක් මත තමයි ඔවුන් දෙදෙනා හමු වෙන්නේ. එතැන් පටන් පෙම්වතුන් වෙන මේ දෙදෙනා ඊට පස්සේ විවාහ වෙන්න තීරණය කරනවා. ජීවිතයේ එතැන් පටන් අලුතෙන් පටන් ගන්න  ඉෂාරා සහ නව්ෂාන් කොරියන් රාජ්‍යය තුළ  තවදුරටත් රැඳී සිටීම සඳහා  වෙළඳාමක් ආරම්භ කරනවා.

වීසා ඉවර උනහම අනිවාර්යෙන්ම කොරියන් රාජ්‍යයෙන් ඒ ශ්‍රමිකයන් තමන්ගේ රටට පිටත් වෙන්න ඕනේ. නමුත් එහෙම දිගින් දිගට ඉන්නවනම් එහේ සමාගමක් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම මේ දෙදෙනා තීරණය කරනවා  වෙළෙඳ සංකීර්ණයක් ආරම්භ කරන්න.

මේ වෙළෙඳ සංකීර්ණයේ විකුණන්න තියෙන්නෙ කොරියාවට ආවට පස්සෙ ලංකාවේ මිනිස්සුන්ට කොරියාව තුළ දී මිලදී ගැනීමට නොහැකි වන ශ්‍රී ලංකාවේ විවිධ එළවළු වර්ග සහ කුළුබඩු වර්ගයි. මුලින්ම මේ වෙළඳාම පටන් ගද්දි නොයෙකුත් ආකාරයේ බාධා ඇවිල්ලා තියෙනවා.ඔවුන් එය පටන් ගන්නේ ඉතාමත් පුංචි ව්‍යාපාරයක් විදිහට.

ව්‍යාපාරය පටන් ගත්තට පස්සෙ ඔවුන් නොයෙකුත් ආකාරයේ බාධාවන්ට මුහුණ දුන්නා.ප්‍රධානම බාධාව තමයි දේශගුණය. මොකද කොරියන් රටට එක්තරා කාල සීමාවකදී ශීත කාලගුණයක් එනවා. ඒ නිසා එළවළු වගා කරද්දි ශීත කාලගුණයට එළවළු අහුවුනොත් ඒ සියල්ලම විනාශ වෙනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ ඒ අවදානමත් ඇරගෙන ඔවුන්ට වගා කටයුතු කරන්න ඉතුරු වුණේ අවුරුද්දේ මාස දෙකක් වැනි ඉතාමත් සුළු කාලයක් කියලයි. ඒ කියන්නේ ජූනි මාසෙ පටන් ගන්න වගාව අගෝස්තු මාසෙදි ඔවුන් අවසන් කරන්න ඕනේ එහෙම නැති වුණොත්  අස්වැන්න ශීත කාලයේදී විනාස වෙනවා.

මුලින්ම ගොඩක් දෙනෙක් කොරියන් රට තුළ ලංකාවේ එළවළු වර්ග වගා කරන්න බැහැ කියලා ඔවුන්ට කිව්වත් දඹල වැනි වගා කිරීමට අපහසු බෝගයන් පවා වගා කර ගැනිමට ඔවුන්ට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ වන විට සුපිරි වෙළද සංකීර්ණයක හිමිකරුවන් වෙන්න මේ ආදරණීය යුවළට අවස්ථාව උදාවෙලා තියෙනවා. නොයෙකුත් ආකාරයේ කැපකිරීම් මැද මේ සියල්ලටම හෙවනැල්ල වගේ ලග ඉඳලා තියෙන්නෙ  නව්ෂාන්ගෙ ආදරණීය බිරිඳ වන ඉෂාරා.

සුපිරි වෙළඳ  සංකීර්ණයට අමතරව මේ වන විට ඔවුන්ගේ ම රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලත් සඳහන් කළා. මෙහි ශ්‍රී ලාංකික රසයට සකස් කරපු විවිධ ආහාරපාන ඇතුළත්. මේ සුපිරි වෙළඳ සංකීර්ණය තුළ තියෙන පුදුම සහගත දෙය නම් සේවකයන් වශයෙන් සේවය කරන්නෙත් කොරියන් රටේ  ජනතාවයි.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙරටට පැමිණ සීඝ්‍රයෙන් දියුණු අත් පත්කරගත් මේ යුවල පිළිබඳව කොරියන් රටේ රූපවාහිනී මාධ්‍යයක පවා කතා බහට ලක්වෙලා තියෙනවා. මේ ආදරණීය යුවල මේ වන විට ආදරණීය දියණියක් සහ ආදරණීය පුතකුගේ දෙමව්පියන් වෙනවා. ඔවුන් දෙදෙනා කොරියන් රාජ්‍යයේ පාසලක මේ වෙද්දි ඉගෙන ගන්නවා .

කොරියන් රට තුළ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙන් බොහෝ පිරිසක් එළවළු වර්ග කුළුබඩු වර්ග මිලදී ගැනීම සඳහා ඔවුන් දෙදෙනාගේ සුපිරි වෙළඳ  සංකීර්ණයට එන්න අමතක කරන්නෙත් නැහැ. අනාගතයේදී දරුවන් දෙදෙනා සමඟ ලංකාවට ඇවිල්ලා සැදෑ සමය ගත කිරීම මේ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව කියලා තමයි සඳහන් කළේ. ඒ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින් ම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්නෙමු.

වැඩිදුර තොරතුරුසඳහා පහත වීඩීයෝව බලන්න

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies