Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අයියාගේ කරේ ගිහින් සාමාන්‍ය පෙළ විෂයන් නවයම හොඳින් සමත් වුණු මල්ලි

ලෝකය ජයගත් හැම කෙනාම සර්ව සම්පූර්ණ වූ මිනිසුන් නොවේ. ඒ අතරින් විවිධ ආබාධයට ලක්වූ මිනිසුන්. උත්පත්තියෙන්ම දෑස් අන්ධ මිනිසුන්,දෑත දෙපා වලංගු නොවූ මිනිසුන් ප්‍රධාන තැනක් ගන්නවා. තමන් යම්කිසි ආබාධ තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ ආබාධය ජීවිතයට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක් විදියට සලකන බොහෝ මිනිසුන් අභියෝගයන්ට නොසැලී මුහුණ දී ජීවිතය ජය ගන්නවා.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ ආකාරයෙන් අසාමාන රෝගී තත්ත්වයක් මත හිඳමින් අභියෝග ජයගත් පුද්ගලයකු පිළිබඳවයි. ඔහු නමින් කීර්ති චන්ද්‍රසිරි දරුවායි. මේ දරුවා සාමාන්‍ය නිරෝගී දරුවෙක් නෙමෙයි ඔහු කොඳු ඇට පෙළේ අසාමාන්‍ය වෙනස්වීම හා මාංශපේශී   දියවීම යන රෝග ලක්ෂණ පෙන්වන ජානමය රෝගයක් වන මයෝපති නම් වූ දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළෙනවා.

කීර්ති නැමැති මේ සිසුවා 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ මේ රෝගාබාධය මතමයි. කෙසේ හෝ ජීවිතය ජය ගන්න ඕනි කියන චේතනාවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්න ඔහු කල් තියා සූදානම් වුණා. මේ නීලවත්ත නමැති සුන්දර ගම්මානයේ ජීවත්වෙන මේ පවුල  ඉතාමත් දුකෙන් ජීවිතය ගතකරන පවුලක් කිව්වොත් නිවැරදියි.

මේ නිවසට ගොඩ වෙන ඕනෙම කෙනෙක් දකින්නේ අසාමාන්‍ය ශරීරයකින් යුත් උදරය ඉදිරියට නෙරා ආ ශරීරය උරහිස් දෙකෙන් පිටුපසට නෙරා ගිය අසාමාන්‍ය ශරීර පිහිටීමක් ඇති කීර්ති දරුවාගේ සුරූපයයි. විනාඩියකට වඩා වැඩි කාලයක් වත් සිටගෙන සිටීමට අපහසු ඔහු  ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව තමයි මේ අපි ඔබට කියන්නට යන්නේ.

මේ ලෙඩේ හැදුණු දවසේ ඉඳන් කීර්තිට ඉස්කෝලේ යන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. හැමදාම ඉස්කෝලේ යන්න බැරි වුණත් අයියගේ කරේඑල්ලිලා තමයි හැම තැනම ගමන් කලේ. පුංචි කාලේ මේ ලෙඩේ හැදුනට පස්සේ දෙමව්පියන් ඔහුව  පේරාදෙණිය ළමා රෝහලට අරගෙන ගිහින් විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නුවා.

දරුවා පරික්ෂා කරපු වෛද්‍යවරු සඳහන් කළේ මයෝපති කියන ජානමය රෝගී තත්ත්වය ඔහුට වැලදිලා තියෙනවා කියලා. ඊට පස්සේ දරුවාගේ මව පරීක්ෂා කලවිට එහිදී ඇයටත් මේ රෝගී තත්ත්වය තිබිලා ඒ මගින්  දරුවාට බෝ වෙන්න ඇති කියලා වෛද්‍යවරු තීරණය කළා.

මොන අමාරුකම් තිබ්බත් කීර්ති මාසෙට දවස් දෙක තුනක් හරි ඉස්කෝලේ ගියා. නමුත් විභාග  ළංවෙන්න ඔහුගේ රෝගී තත්ත්වය වැඩි වුණා. ඉස්කෝලේ ගුරුභවතුන් සියලුම දෙනා කීර්තිට උදව් කරන්න පටන් ගත්තා.

පියාත් රෝගී තත්ත්වයෙන් ඉන්න නිසා ඊට පස්සේ කීර්තිව කරේ තියාගෙන ඉස්කෝලෙට එක්කන් ගිහින් තියෙන්නේ ඔහුගේ එකම සහෝදරයා. මේ අයියා  මල්ලි ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්

මල්ලි තමයි අපේ එකම බලාපොරොත්තුව වුණේ. ඒ නිසා තමයි මගේ ඉස්කෝලේ ගමනක් නවත්තලා මල්ලිට උදව් කරන්න ගත්තේ. අප්පච්චිට මල්ලිව උස්සගෙන යන්න බැරි වුණා මල්ලි මගේ කරේ තියාගෙන මේ මහ කන්ද මම නඟින්න උත්සාහ කළා. දැන් මට ඒක හොඳටම හුරුයි.

ඔහු තමන්ගේ මල්ලි වෙනුවෙන් කරපු ඒ අපූරු කැප කිරීම පිළිබඳව අදහස් දැක්වූයේ එයාකාරයෙන්. දින සති ගණන් පාසල් ගොගියත් කීර්ති චන්ද්‍රසිරි කියන මේ දක්ෂ සිසුවා සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙන්නේ සම්මාන සාමාර්ථ තුනක් සමගින් විෂයන් නමයම ඉහලින්ම සමත් වෙමින්.

කීර්තිගේ ආදරණීය මව ගුණවතී මහත්මිය තම දරුවා පිළිබඳව අදහස් දැක්වුයේ මේ ආකාරයෙන්.

මට අවුරුදු තිහේදී වගේ තමයි මේ රෝගය හැදුනේ. එතකොට මේ දරුවො දෙන්නම මට ලැබිලා. මේ රෝගය වැලඳෙන්න වයස ගත වෙනකොට. මම පස් දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා. අපේ පවුලේ කාටවත් මේ රෝගය තිබ්බෙ නෑ. ඒත් මේ රෝගය මට තියෙනවා.

ඇය ශෝකයෙන් අදහස් දැක්වූයේ එයාකාරයෙන් කෙසේ නමුත් මේ වන විට කීර්ති නමැති සිසුවා උත්සාහය සහ ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්න තීරණය කර අවසන්.

උත්සහය තියේ නම් කළ නොහැකි යමක් නොමැති තරම්ය යන උදාර පණිවිඩය කීර්ති සිසුවා සුවහසක් ජනතාවට ලබාදී අවසන්. ඔහුගේ ඉදිරි ගමන දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු .

මුලාශ්‍රය ලංකාදීප පුවත්පත

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies