Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පන්සලේ බුදු මැදුරේ චිත්‍ර අඳින සැදැහැවත් චිත්‍ර ගුරුවරිය.

කලාව කියලා කියන්නේ ගැහැනු පිරිමි භේදයකින් තොරව ගොඩක් දෙනෙක් ආදරේ කරන ක්ෂේත්‍රයක්. ඉස්සර පිරිමින්ට පමණයි කරන්න පුළුවන් කියලා සීමා වුණු බොහෝ දේවල් අද කාන්තාවනුත් කරන තත්වයට පත්වෙලා. වර්තමාන සමාජය තුළ පිරිමි පුද්ගලයන්ට හා සමානම සම තැනක් කාන්තාවට ලැබිලා තියෙනවා. එනිසාම ඔවුන් විසින් සිදුකරන විවිධ ආකාරයේ විශිෂ්ට ක්‍රියාවලින් පිළිබඳව අපට දිනපතා අහන්නට ලැබෙනවා.

මේ ඔබට කියන්නට යන්නේ  ඒ වගේම ශ්‍රී ලංකාව තුළින් අපිට අහන්න  ලැබුණු ඉතාමත් දුර්ලභ ආකාරයේ සිදුවීමක් පිළිබඳවයි. පිරිමින් හා හනි හනිකට තරග කරමින් චිත්‍ර කලාවේ නිරත වෙලා ඉන්න අපූරු තරුණියක් තමයි සුලෝචනා වජිර කාන්ති කියලා කියන්නේ.

වෘත්තීයම චිත්‍ර ගුරුවරියක් වන ඇය මේ වන විට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ චිත්‍ර ශිල්පය භාර ගුරුවරිය ලෙස සේවය කරනවා. මේ විද්‍යාලයෙන්ම අධ්‍යාපනය ලබන ඇය ඊට පෙර දොඩම්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබෙනවා. 

මනාකොට රේඛා  හා වර්ණ සංකලනය කරගනිමින් චිත්‍ර කලාව ප්‍රගුණ කරපු ඇය මේ වන විට දක්ෂ චිත්‍ර ශිල්පිනියක් විදිහට කොයි කවුරුත් අතර ප්‍රසිද්ධයි. මේ චිත්‍ර ගුරුවරිය පිළිබඳව අපි ගොඩක් කතා කරන්නට පටන් ගන්නේ ඇය විසින් කරන අපූරු සත් ක්‍රියාවක් නිසායි.

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි නාඋල අඹන මොරගොල්ල විහාරස්ථානයේ මෑතකදී අලුත් බුදු මැදුරක් ඉදිකරනවා. මේ බුදු මැදුරට අවශ්‍ය කරන සිතුවම් නිර්මාණය කිරීමේ කාර්යය පැවරුණේ චිත්‍ර ගුරුවරියක් විදියට විදිහට සේවය කරන සුලෝචනාටයි.

මේ අවස්ථාව ඇයට හිමි වුණේ ඇය සේවය කරන විද්‍යාලයේ ම ගුරුවරයෙක් ලෙස සේවය කරපු මේ පන්සලෙ ධම්මරතන හිමියන්ගේ ඇරයුමකට අනුව යි. මේ ස්වාමීන් වහන්සේ තමයි මේ පන්සලේ අධිපති හිමියන් ලෙස කටයුතු කරන්නේ

ධම්මරතන හිමියන්ගේ ඇරයුම භාරගත් සුලෝචනාට මාස දෙක හමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මේ බුදු  මැදුරේ අපූරු චිත්‍ර මාලාවක් සිතුවම් කර නිම කරන්න අවස්ථාව උදා වුණා.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ චිත්‍ර ගුරුවරිය විදිහට විදුහලේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය කරන චිත්‍ර කැටයම් හා විවිධ සැරසිලි නිර්මාණය කරන්නේ ඇය විසින්. ඒ නිර්මාණයන් දිහා බලලා තමයි ධම්මරතන හිමියන් උන් වහන්සේ වැඩ වාසය කරන මොරගොඩ විහාරුරගල විහාරස්ථානයේ ඉදි කරපු නව බුදු මැදුර සිතුවමින් අලංකාර කිරීමට ඇයට ආරාධනා කරන්නේ.

මේක ගොඩක් භාරදූර කාර්යයක් නිසා මුලින් හිතේ චකිතයක් තිබ්බ කියලත් ඇය සඳහන් කළා. නමුත් ඇයගේ ස්වාමිපුරුෂයා නිරන්තරයෙන්ම ඇයව දිරිමත් කරපු නිසා ඒ වැඩේ සාර්ථකව කරන්න ඇයට හැකියාව ලැබුණා.

පසුගිය වසංගත තත්වය නිසා ගෙදරටම වෙලා කටයුතු කරපු ඇය මේ කාලසීමාව පන්සලෙ සිතුවම් අදින්න යොදාගත්තා. මේ සඳහා ඇයට උපකාරී වුණේ ඇගේ මහත්තයා. සමහර දවස් වලට උදේ පටන් ගත්තහම රෑ එලි වෙනකම් ම චිත්‍ර ඇඳපු අවස්ථා තියෙනවා කියලත් ඇය ප්‍රකාශ කළා කෙසේ නමුත් මාස දෙක හමාරක වැනි කාලයක් තුලදී මේ චිත්‍ර නිර්මාණය නිම කරන්න අවස්ථාව උදා වුණා.

බුදු මැදුරේ සිතියම් වලට පාදක වුණේ මහනුවර යුගයේ පැරණි චිත්‍ර ශෛලිය ට සමාන ශෛලයක්. ඇගේ සිතේ තිබුණු නිර්මාණාත්මක අදහස් යොදා ගනිමින් එය අපූරුවට නිම කළා. මේ වන විට ඇය චිත්‍ර කලාව පිළිබඳ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබාගෙන 2008 වසරේදී වසරේ දී බිතු සිතුවම් පිටපත් කරණය සඳහා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද දක්ෂ චිත්‍ර ශිල්පිනියක්.

මේ දක්ෂතාවය නිසාම 2019 වසරේ දී රජය මගින් පිරිනමන ලද ඉන්දීය සංචාරයකට සහභාගි වීමටත් සුලෝචනා ට අවස්ථාව උදා වුණා. ඉදිරියේදිත් ඇගේ දක්ෂතාවයන් සහ කුසලතාවයන් වැඩි වශයෙන් වර්ධනය කරගනිමින්   ජීවිතය ජය ජයගැනීමට අවශ්‍ය සහ ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින් ම ඇයට සුබ  පැතුම් එක් කරන්නෙමු.

මුලාශ්‍රය ලංකාදීප

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies