Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පියාට ශක්තියක් වෙමින් පරිසර හිතකාමී පොල් කටු නිෂ්පාදනයේ යෙදෙන සරසවි සිසුවිය

ජීවිතයේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවන් වල දී නොයෙකුත් ආකාරයේ අභියෝගයන්ට ඒ වගේම නොයෙකුත් හදිසි අනතුරු වලට මුහුණ දෙනවා. ඒ වගේ දේවල් වලට මුහුණ දුන් පසු   ගොඩක් දෙනෙක්  ජීවිතේ පිළිබඳව තියන සුභ සිහින එකින් එක අතාරිනවා.

නමුත් අපි නොයෙක් වර අහල තියෙනවා මොන තත්වෙ හිටියත් ශක්තිය සහ ධෛර්යය මත ජීවිතේ  ජයගත් නොයෙකුත් පුද්ගලයන් පිළිබඳව. තමන්ගේ ජීවිතේ කටුක අත්දැකීමක් අනාගතයේ සුබ සිහිනයක් බවට පරිවර්තනය කර ගැනීමට කැප වෙන    පුද්ගලයෙක් නම් එය කෙතරම් අගය කළ යුතුද?

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ හදිසි අනතුරක් නිසා එක්තැන් වෙන පුද්ගලයෙක් විසින් ආරම්භ කරපු පරිසර හිතකාමි ව්‍යාපාරයක් පිලිබදවයි. ඒ වගේම මේ කතාබහේ ප්‍රධානම චරිතය වෙන්නෙත් ඔහු සහ ඔහුගේ ආදරණීය දියණියයි.

මේ පුද්ගලයා විදුහල්පති වරයෙක් වන අතර නමින් හේරත් බණ්ඩා මහත්මයයි. එක්තරා දවසක මීට අවුරුදු තුනකට පෙර අවාසනාවන්ත ලෙස සිදුවන රිය  අනතුරකට මෙතුමා මුහුණ දෙනවා. අනතුරෙන් පසු එක්තැන් වෙලා වැඩ කටයුතු කරන්න තමයි ඔහුට සිද්ධ වෙන්නේ.

නමුත් නිරන්තරයෙන්ම රාජකාරි බහුල තනතුරක් දැරූ ඔහුට එකම තැනකට වෙලා රෝදපුටුවක කාලය ගත කරන එක ඉතාමත් නුහුරු අත්දැකීමක් වුණා.  ඒ නිසාම මේ කාලය අතරතුර පොල් කටු සහ විවිධ ලී වර්ග භාවිතා කරමින් නොයෙකුත් ආකාරයේ නිෂ්පාදනයන් සිදු කරන්න හේරත් බණ්ඩා මහත්මයා උත්සාහ කළා.

මෙහි මූලිකම අරමුණ වුණේ එකතැන් වෙලා සිටින ඔහුගේ ජීවිතයට මදක් හෝ සැනසිල්ලක් ලඟාකර  ගැනීමයි. පියා දෑතේ මහන්සියෙන් පටන් ගත් මේ අපූරු කාර්‍යට වටිනාකමක් දීමේ අරමුණෙන්  පවුලේ සියලුම දෙනාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ හේරත් මහතාගේ දියණිය වන ගයනි හේරත් නැමැති දියණියත් ඔහුගේ ව්‍යාපාරයට අත්වැලක් වෙන්න පටන් ගන්නවා.

පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදනය කරන මේ නිෂ්පාදිතයන් ටිකෙන් ටික ජනතාව අතර ප්‍රසිද්ධ වීම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ දියණිය විසින් මේ ව්‍යාපාරය hera product  යන වෙළෙඳ  සන්නාමය යටතේ කුඩා ව්‍යාපාරයක් ආකාරයෙන් ආරම්භ කරනවා.

Hera product  ව්‍යාපාරය තුළින් මේ වන විට ප්ලාස්ටික් භාවිතයෙන් තොර නිෂ්පාදනය කරන මුළුතැන්ගෙයි උපකරණ සහ ආලින්දයට අවශ්‍ය වූ විවිධ නිර්මාණයන් සහ විසිතුරු භාණ්ඩ ලබා භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය තමයි පොල් කටු සහ විවිධ ලී වර්ග. ඒ නිසා මේ නිමැයුම් සියයට සියයක්ම සියයක් ම පරිසර හිතකාමී  නිමැවුම් ලෙස  සහතික කළ හැකියි. මේ සියලුම දේ නිමවෙන්නේ පවුලේ සියලු දෙනාගේ සහයෝගය ඇතිවයි.

වර්තමානයේ පවතින වසංගත රෝගී තත්ත්වය හමුවේ ව්‍යාපාරය  අලෙවි කටයුතු කර ගැනීමට අපහසු උනත් සියලුම දෙනාගේ පහසුව මත පාරිභෝගිකයන්ට අවශ්‍ය ඇනවුම් අන්තර්ජාලය හරහා ලබා දීමටත් ඔවුන් තීරණය කරනවා.

පරිසර හිතකාමී  නිෂ්පාදනය කරන මේ අපූරු නිපැයුම් පෙළ  තවදුරටත් වැඩිදියුණු කරගනිමින් ව්‍යාපාර ලෝකයේ ඉදිරියටම ගමන් කිරීම මේ සියලුම දෙනාගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ වගේම ඉදිරියේ දී පොල් කටු හා ලී වර්ග භාවිතා කර විසිතුරු භාණ්ඩ ඇතුළු විවිධ වූ නිෂ්පාදනයන් දේශීය වෙළඳපොළටත් විදේශීය වෙළඳපලටත්  නිකුත්කිරීම hera product ව්‍යාපාරයේ මූලිකම අරමුණ බව ඔවුන් සඳහන් කළා. 

වර්තමානය වන විට පරිසර හිතකාමී නිෂ්පාදන මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි  ඔවුන්ගේ නිෂ්පාදිතයන් සඳහා හරියාකාර වටිනාකමක් නොලැබීමයි. ඒකට මුලින්ම හේතුව තමයි ගොඩක් දෙනා අඩු මුදලට පවතින ප්ලාස්ටික් නිෂ්පාදන වලට නැඹුරු වී අවසන් නිසයි.

කෙසේ නමුත් පරිසරය කියන්නේ අපි සියලු දෙනාගේම වටිනාම අමිල සම්පතයි. ඒ නිසා එය රැක ගැනීමට  හැකිවන ආකාරයේ  මිනිස් ක්‍රියාවන් සිදු කිරීම ඒ වගේම අහිතකර ප්ලාස්ටික් වැනි දේවල් භාවිතයෙන් තොර වීම නිරන්තරයෙන් ම පරිසර හිතකාමී පුද්ගලයන් ලෙස තමන්ගෙ වගකීම් ඉටුකිරීම මිනිසාගේ ප්‍රධානම කාර්යභාරය වේ.

M.ශෂිකලා මදුෂානි 

BA in Communication Studies