Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශ්‍රී ලංකාවේ පළමු වතාවට දත්ත රැස් කිරීම සඳහා ගුවන්ගත කෙරූ බැලුනය

ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය වැඩි වශයෙන් පරිහරණය කිරීමට පටන් ගැනීම නිසා විවිධ අලුත් අත්දැකීම් සහ අලුත් නිෂ්පාදනයන් අපිට අඳුනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපූරු ආකාරයේ පරීක්ෂණයන් නිරන්තරයෙන්ම අහන්නත් දකින්නත් අපිට පුළුවන්.

විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම මත මිනිසා විවිධ දේ ලේසි පහසු ආකාරයෙන් කරන්න කෙටි ක්‍රම හොයනවා. ඉතින් මේ කියන්න යන්නේ ඉතිහාසයේ පළමු වතාවට පරීක්ෂණ දත්ත රැස් කරන්න සූදානම් කරපු අපූරු ක්‍රමවේදයක් පිළිබඳවයි.

මේ ක්‍රියාවලිය සඳහා විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශි වූ අතර වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත  ලබාගැනීම සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයයේබැලුනයක් ගුවන් ගත කිරීම සිද්ධ වුණා. මේ අපූරු බැලුනෙ ගුවන් ගත වුණේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහල් පරිශ්‍රය තුළයි. විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් දින කීපයක්ම කුණ්ඩසාල ප්‍රදේශයේ රැඳී සිටිමින් අලුයම පහට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම ඔස්සේ උදෑසන හතයි තිහට පමණ සාර්ථකව මේ බැලුනය ගුවන් ගත කිරීම සිදුවුණා.

මේ අපූරු තාක්ෂණික ක්‍රමවේදය මඟින් වායුගෝලයේ සංඝටක පිළිබඳ විශාල තොරතුරු රාශියක් දැන ගන්න හැකි වෙනවා කියලත් ඔවුන් සඳහන් කළා. මේ  බැලුනය නිෂ්පාදනය කිරීම සඳහා වර්ෂ 1950 පමණ පැරණි තාක්ෂණය උපයෝගී කරගත්තා කියලත් විශ්වවිද්‍යාල සිසුන් සඳහන් කරනවා.

ඇමරිකාවෙන් ගෙන්වන ලද විවිධ  උපකරන උපයෝගි කරගෙන තමයි මේ  බැලුනය නිෂ්පාදනය කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රබර් බැලුනයක් ගුවන් ගත කිරීම සහ ඒ තුළින් සවි කරන ලද උපකරණ මගින් තොරතුරු හා දත්ත රැස් කිරීම සිද්ධ වෙනවා.

මේ බැලුනය තුළ විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක් සවිකොට තියෙනවා. මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාශයේ ගමන් කරමින් සිටින අතරතුර ආකාසේ ඉහළ දී පුපුරා යනවා. ඊට පස්සේ බැලුනය මගින් රැස් කර ගත් දත්ත එහි සවිකොට ඇති පැරශුට් එකක් ආධාරයෙන් පොළොවට පතිත වීම සිද්ධ වෙනවා.

ඉතින් මේ අපූරු විස්මිත නිමැවුම තුළින් රොකට් උපයෝගී කරගෙන සිදුකරන ක්‍රියාකාරකම් ඉදිරියේදී ලේසියෙන් කරගන්නට අවස්ථාව උදාවෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ නිෂ්පාදනය තුළින් ලබාගත හැකි වාසි තමයි ඉහල වායුගෝලයේ පවතින විවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කර ගැනීමට ඇති හැකියාව. කාලගුණික දත්ත සපයා ගැනීම මෙන්ම කැළෑ හෙළි පෙහෙළි කිරීම් වනාන්තර ඝනත්වය පිළිබඳව නිසියාකාර නිවැරදි දත්ත ලබා ගැනීමටත් වන සතුන් පිළිබඳව තොරතුරු රැස්කර රැස් කර ගැනීමටත් හැකියාව ලබනවා කියලා මේ පරීක්ෂණයෙ උපදේශක අමිල සඳුන් බස්නායක මහතා සඳහන් කරනවා.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මේ අපූරු ක්‍රියාකාරකම ඉදිරියේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේ සංවිධානය සඳහන් කළා. මේ ක්‍රියාන්විතය හරියාකාරව සාර්ථකව ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබුණොත්  සැටටයිට්,රොකට් වෙනුවට රබර් මගින් නිෂ්පාදිත බැලුනයක් ගුවන් ගත කර නිසියාකාර තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවක් උදා කර ගන්නත් හැකියාව තියෙනවා.

මේ නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොයෙක් ආකාරයෙන් වෙහෙස මහන්සි  වුණා කියලා ආරංචියි. ඉදිරියේදී පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල මෙන්ම රාජ අනුග්‍රහය ඇතුව සියලු දෙනාගේ සහයෝගයෙන් සැදුම්ලත් සංවිධානයක අනුග්‍රහය මගින් මෙම අත්හදා බැලීම තවදුරටත් කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.

සාමාන්‍ය ආකාරයට රැස් කර ගැනීමට අපහසු දත්ත ඉතාමත් ලෙහෙසියෙන් සහ පහසුවෙන් මේ ක්‍රමය මඟින් රැස් කරගන්න පුළුවන් කියලත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ නමුත් මෙවැනි ආකාරය  නව නිපැයුම් තුලින් විද්‍යාත්මක හා තාක්ෂණික අංශයේ දියුණුවක් ඉදිරියේදී සිද්ධ වේයැයි සියුම් බලාපොරොත්තුවක් අපි සියලු දෙනාගේම හදවතේ තියෙනවා.

ඉතින් මෙවැනි පරීක්ෂණයක් නිරන්තරයෙන්ම දිරිගන්වමින් එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම රජයේ මූලික වගකීම බව කවුරුත් දන්නා කරුණක්. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම නියෝජනය කරමින්  ලැබුවා වූ මේ අපූරු සාර්ථකත්වය ඉදිරියෙන් ඉදිරියටම  රැගෙන යන්න ඔවුන්ට වාසනාව උදාවේවායි කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies