Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

මාදම්පා ගගේ මෝටර් බෝට්ටු පදවන ජීවන ගඟින් එතෙර වෙන්න වෙර දරන සුජීවා

දුප්පතෙක් ලෙස ඉපදුනත්  මියදෙන විටත් දුප්පතෙකු ලෙස මිය යනවා නම් ඒ පුද්ගලයා ජීවිතය සාර්ථක කර නොගත් පුද්ගලයකු ලෙස බොහෝ විද්වතුන් සහ ලොව ජයගත් ව්‍යවසායකයන් හඳුන්වනවා. ලොව ජයගත් බොහෝ දෙනාගේ මූලික පරමාර්ථය වුණේ උත්සාහවන්තයා ජයගනී යන තේමා පාඨයයි.

වර්තමානය වන විට ජීවන අරගලයට මැදිව මුදල් පසු පස හමා යන මිනිසුන් අතර තමන්ටම කියා ව්‍යාපාරයක් ගොඩනගා ගෙන දියුණුවේ හිනිපෙත්තටම ගමන් කළ කාන්තාවන් සහ පිරිමින්  පිළිබඳව අප නොයෙකුත් අවස්ථාවලදී කතාබහ කරල තියෙනවා. 

අතීතයේදී ව්‍යාපාරික අංශයෙන් ඉහලටම යන්න බොහෝ ඉඩකඩ හිමි වුනේ පිරිමි පුද්ගලයන්ට. කාන්තාවන්ට ව්‍යාපාරිකාවක් වශයෙන් හෝ ආදායමක් නිවසට  ගෙනෙන සේවිකාවක් වශයෙන් කටයුතු කරන්න ඉඩකඩ තිබුණේ ඉතාමත් අඩුවෙන්. නමුත් වර්තමානය වන විට කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට ඇති අවස්ථා පුළුල්වීම නිසා ඔවුන්ටත් ව්‍යාපාරික අංශයෙන් ඉහළට යන්න  අවස්ථාව උදා වුණා.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ජීවන පොර පොරපිටියේ සටන්වැදී හෙම්බත් වූ අපූරු කාන්තාවක් ජීවිතය ජයගන්න කරන අපුරු රැකියාවක් පිළිබඳවයි. ඇය නමින් අම්බලන්ගොඩ පදිංචි සුජීවා  දමයන්ති වේ. දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් වන සුජීවා තමන්ගෙ වෘත්තිය ලෙස තෝරා ගන්නේ අනිකුත් ස්ත්‍රීන් කරන්න තියා හිතන්නෙවත් නැති  බෝට්ටුවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමයි.

 ඇය මාදම්පා ගඟේ මෝටර් බෝට්ටු වලින්  ඒ අවට ඇති ස්ථාන නරඹන්න පැමිණෙන විදේශිකයන් ප්‍රවාහනය කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ අපූරු බෝට්ටු ක්‍රියා කරවන්නිය තමන්ගේ සේවාව ලබාගන්න පැමිණෙන විදේශිකයන්  ගඟ හරහා පැය දෙකක් දෙකක පමණ කාලයක් සංචාරයේ රැගෙන යනවා.

 මේ අවස්ථාවේදී පිරිමි පුද්ගලයන් පමණක් බෝට්ටු සංචාර යෙදෙන අවස්ථාවල තියන නිසා සිය රැකියාවේ විශාල අභියෝගයක් නිරන්තරයෙන්ම ජයගෙන මේ වන විටත් ඇය දක්ෂ බෝට්ටු පද වන්නියක් ලෙස මේ ප්‍රදේශයේ ප්‍රචලිත වෙලා අවසන්. ඒ වගේම මේ රැකියාවේ යෙදෙන සුජීවා  මාදම්පා ගඟේ ගැඹුරු ස්ථාන ඒ වගේම කිඹුලන් සිටින ස්ථාන, වවුල්කැලේ කඩොලාන රක්ෂිතය, කිරල කැලෑව වෙස්මුහුණු කෞතුකාගාරය සහ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිම වහන්සේ පෙන්වීමටද සංචාරකයන් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ.

මේ ස්ථාන වල පවතින විශේෂතාවය පිළිබඳව සංචාරකයන් දැනුවත් කරන්නත් ඇය පසුබට වෙන්නේ නැහැ. බෝට්ටුව පදවන අතරතුර යම්කිසි කාර්මික දෝෂයක් ඇති වුවහොත්  එය නිරාකරණය කරගෙන බෝට්ටුව යළි යථා තත්ත්වයට  පත් කර ගන්න තරම් දක්ෂතාවයක් සුජීවට තියෙනවා.

ඒ වගේම මෝටර් බෝට්ටුව පැදවීමේදී  එයට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් දැමීම ද ඇය විසින් සිදු කිරීම විශේෂත්වයක්. මෝටර් බෝට්ටුවේ කෙලවරේ නැග  දක්ෂ හුරු පුරුදු බෝට්ටු ක්‍රියාකරවන්නියක් ලෙස ඇය ඈත ගඟ දෙපස සංචාරය කරන්නේ ඇය දෙස බලා සිටින්නා වූ මිනිසුන් පුදුමයට පත් කරමින් 

ඒ වගේම බෝට්ටුව පදවන අතරතුර කිඹුලකු මුණගැසුන විට කිඹුලා මගහැර බෝට්ටුව නිවැරදි මාර්ගයේ පදවා ගෙන යන්නත් ඇයට අපූරු හැකියාවක් තියෙනවා. ඇය දරුවෝ තුන් දෙනා සහ මහත්තයත් එක්ක ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කරන නිසා ජීවත් වෙන්න  වෙන විකල්පයක් හොයාගන්න බැරිම තැන තමයි මේ වගේ වෘත්තියකට අතගහන්න හිතන්නේ.

ඉතින් මේ රැකියාව නිසා කාටවත් අත නොපා අද වෙද්දි ඇය ජීවත් වෙනවා කියලා ඉතාමත් සතුටින් සඳහන් කරනවා. ජීවන අරගලයට මුහුණ දෙමින් ජීවන ගඟ තරණය කිරීමට නිරන්තරයෙන් ම වෙහෙසෙන සුජීවා වැනි කාන්තාවන් සියලුම දෙනාට මහත් ආදර්ශයක් වෙනවා නොඅනුමානයි.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies