Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

අයිස් ක්‍රීම් විකුණා සල්ලි හොයාගෙන අබලන් ජිප් රථයක් පණ ගැන්වූ අපූරු දරුවන්.

තාක්ෂණික අතින් ලෝකයේ දියුණු වීමත් සමගම නිරන්තරයෙන්ම අලුත් සොයා ගැනීම් පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගන්නවා. ඒ වගේම රට තුළ පවතින තත්වය හේතුවෙන් නිවසට වෙලා කාලය ගත කරන බොහෝ දෙනා නව නිෂ්පාදන අත්හදා බලන්න අමතක කරන්නෙත් නැහැ.

ඉතින් ඒ ආකාරයේ අපූරු නව නිපැයුමක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ. දිඹුලාගල කඳු ශිඛරයට එහා මාදුරු ඔයට සීමා මායිම් ව පිහිටා තිබෙන අරලගංවිල ගම්මානයේ ජීවත්වන අපූරු  ධෛර්යසම්පන්න පාසල් සිසුවකු ඇතුළු කණ්ඩායමක් තමයි මේ අපූරු නිමැවුම සිද්ධ කරන්නේ.

විලයාය ජාතික පාසලේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය හදාරන පසිදු නිරෝෂන් කියලා කියන්නේ නිරන්තරයෙන්ම අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමැත්තක් දක්වපු පුද්ගලයෙක. ඔහුගේ අලුත් අත්හදාබැලීම් වලට ඇති කැමැත්ත නිසා ම පාසලේ තාක්ෂණික විෂය ක්‍රියාකාරකම් සදහා ලැබුණු භාවිතයට ගත නොහැකි  ජීප් රථයක කොටස් කැබලි එකතු කර ජීප් රථයක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කරනවා.

 මේ සඳහා ඔහුගේ උදව්වට තවත් සහෝදර සිසුන් දෙදෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔවුන්ට උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමේදී විෂය නිර්දේශයට අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න තියෙන නිසා වාහන වල කොටස් ගලවලා ඒ ප්‍රායෝගික දැනුම ලබාගන්න  ඕනේ.

 මේ නිසාම ඔවුන්ගේ පාසලට පොලිස් දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාල ගැරේජ් එකෙන් කපා ඉවත් කරපු ජීප් රථයක්  ප්‍රායෝගික පරීක්ෂණ සඳහා  ලැබෙනවා.  ජීප් රථය අබලන් තත්ත්වයේ තිබ්බත් මේක ධාවනය කරන්න ඕනේ තත්ත්වයට හදන්න පසිඳුට අදහසක් පහළ වෙනවා.

ඉතින් මේ අදහස පහල වුණ ගමන්ම පසිඳු යන්නේ ඔහුගේ ජාතික පාසලේ තාක්ෂණික විෂය භාර අමිල ක්‍රිශාන්ත ගුරුතුමා හම්බවෙන්න. ඉතින් තමන්ගේ තාක්ෂණික විෂය භාර ගුරුවරයා හම්බවෙලා පස්සේ පසිදු ආයාචනයක් කරනවා මේ ජීප් රථය කෑලි වලට ගලවලා ධාවනය කරන්න පුළුවන් තත්වෙට හදමු කියලා.

සිසුන් තිදෙනෙක් ම මේ යෝජනාව ඉදිරිපත් කළ නිසා ගුරුවරයාගේ සිත ධෛර්යය වෙලා මේ වැඩේ කරන්න තීරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ගුරුවරයා විසින් නිරන්තරයෙන්ම මේ දරුවන් තිදෙනාට ලබා දුන්නා.

 නොයෙකුත් ආකාරයේ ගැටලු මතු වුවත් ඒවා නිරාකරණය කර ගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. නමුත් මේ ජීප් රථය හදන්න අවශ්‍ය කෑලි ගන්න ප්‍රමාණවත් මුදල් ඔවුන් ළඟ තිබුණේ නැහ. ඒ නිසා ඔවුන් තීරණය කරනවා පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පවත්වන දිනයක ice cream විකුණලා  සල්ලි හොයන්න.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසලේ ක්‍රීඩා උත්සවය පැවැත් වූ දිනයේ දී අයිස්ක්‍රීම් විකුණලා රුපියල් 27,000 මුදලක් හොයාගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීප් රථය හදන්න ඕනේ අඩුපාඩු ටික ගන්න ඔහුට හැකියාව ලැබුණා.

ජිප් රථයේ ගොඩනැගීමේ ප්‍රධාන නියමුවා  වුණේ මේ සිසුන් තිදෙනා අතර සිටි විමුක්ති ප්‍රශාන් අනුරාද කියන සිසුවා.  සියලුදෙනාගේ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් අතහැර දමා අබලන්ව තිබූ මේ ජීප් රථය පණ ගන්වන්න ඔහුට හැකියාව ලැබුණා.

 මේ සියලුම දේ පිටුපස සිටියේ ඔවුන්ගේ ආදරණීය තාක්ෂණ විෂය භාර ගුරුතුමා කියල මේ සිසුන් තිදෙනා නිරන්තරයෙන්ම මතක් කරනවා. මේ ගුරුවරයාගේ අපූරු තාවය නිසා ම ඔහු නොයෙකුත් ආකාරයේ සම්මානවලින් පිදුම් ලබන්න තරම් වාසනාවන්ත ගුරුවරයෙක් වුණා.

තවත් නව  නිර්මාණ කීපයක්ම අනාගතයේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා කියලා මේ  සිසුන් සඳහන් කළා.

උපුටාගැනීම – දිවයින පුවත් පත

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies