Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ඔලිම්පික් ධාවන පථය තුළ ඇද වැටුණත් අසුරුසැනින් නැගිට ජයග්‍රහනය හඹා ගිය අපූරු හෙදිය

ක්‍රීඩාව කියලා කියන්නේ සෑම නිරෝගී පුද්ගලයෙක් පසුපසම තියෙන හරි ප්‍රබල ඖෂධයක් කිව්වොත් නිවැරදියි. ක්‍රීඩා කරන පුද්ගලයන් නිරන්තරයෙන් ම යහපත් ශරීර සෞඛ්‍යයකින් සමන්විතයි කියලා බොහෝ විද්‍යාඥයන් පවා පවසලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාව කියන දේ ශරීර සෞඛ්‍යයට වගේම තමන්ගෙ මානසික ශක්තිය සහ මානසික ඒකාග්‍රතාවය කියන සිතුවිලි දියුණු කිරීමටත් මනාසේ ඉවහල් වන ප්‍රබල ආයුධයක්.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ක්‍රීඩාව තුළින් වරක පරාජය පෙනී පෙනී සිටියදී ජයග්‍රහණය අත්පත් කරගත් හරි අපූරු කාන්තාවක් පිළිබඳවයි. ඇය නමින්  සිෆාන් වේ.  ඇය පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තෙ  මෙවර ටෝකියෝ හි පැවැත්වූ ඔලිම්පික් තරඟාවලියේදී නෙදර්ලන්තය දිනාගත් සමස්ත රන් පදක්කම් දහයෙන් සහ ලෝකඩ දාහතරෙ න් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් දිනාගත් රන් පදක්කම් දෙක හා ලෝකඩ පදක්කම් තුන අතරට ආ පදක්කම් තුනකින්ම ඇය දායකත්වය දක්වපු නිසයි.

නෙදර්ලන්තය වෙනුවෙන් තරග කරන මේ අපූරු ක්‍රීඩිකාව ඔලිම්පික් පදක්කම් නෙදර්ලන්තය නමින් දිනුවද ඇය උපතින්ම ඉතියෝපියානු ජාතිකයෙක්. දිළිඳුකම කරපින්නා ගත් ඇය වර්ෂ 1993 ජනවාරි පළවැනිදා ඔරිමෝ ගෝත්‍රයේ සාමාජිකාවක් ලෙසින් උපත ලබනවා. 

ඉතියෝපියානු රාජ්‍යය ජන ගැන කතා කරද්දී නිමක් නැති දූෂණ සහ සාගින්න කුසගින්න ආදී දේ මේ ජනතාව වටා නිරන්තරයෙන් ම කැරකැවෙන ප්‍රශ්න බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලෝකයේ තියන අන්ත අසරණ දුප්පත් රටවල් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නෙ ඉතියෝපියාවයි.

1993 වර්ෂයේ උපත ලබන ඇය 2008 වර්ෂය වන තෙක් ම හැදී වැඩුණේ සිවිල් අරගලය තිබු ගිනි පුපුරු මැදයි. නිතර ඇසෙන ඝෝෂාකාරී පරිසරයෙන් මිදී නිස්කලංකව ජීවත්වීමේ වුවමනාව ඇය සතුව කුඩා කාලයේ පටන් තිබුණා. ඉතින් ඒ චේතනාව හිතේ දරා ගත් මේ අපූරු කාන්තාව තමන්ගේ උපන් බිමෙන් පළා යාමට සැලසුම් කළා.

අප්‍රිකානු කළු ජාතකයෙක් සේ සැරසී ඇය යුරෝපයට පලා යෑමෙන්  පසුව 2008 වසරේ එක්තරා දිනක සරණාගතයකු වශයෙන් ජීවිතය බේරාගෙන නෙදර්ලන්තයට පලායනවා.ඉතින් තමන්ගේ කටුක ජීවන අත්දැකීම් වලට සමුදෙන  මේ අපූරු කාන්තාව නෙදර්ලන්තය තුළදී හෙදියක් වීම සඳහා ඉගෙන ගැනීමේ කටයුතු ආරම්භ කළා.

හෙදියක් වෙන්න ආස උනත් මලල ක්‍රීඩාවට මහත් සේ ආසාවක් දැක්වූ ඇය  එය සඳහා අවධානය යොමු කිරීමත් සමගම නෙදර්ලන්තයේ මැරතන් දුවන හෙදිය ලෙස බොහෝ දෙනෙක් අතර ඇය ප්‍රසිද්ධ වුණා. මලල ක්‍රීඩා ඉසව්වෙන් ලබාගත හැකි ඉහළම පුහුණුවීම ලබාගත් සිෆාන් එකේ හරියාකාර ප්‍රතිඵල භුක්ති විඳින්නේ 2011 වර්ෂයේදී ය .ඒ යුරෝපයේ එවකට ප්‍රකට ධාවන තරගයක් වන අයින්හොවන් අර්ධ මැරතන් තරගයේ ජයග්‍රහණය කරමින්. 

ඉන් අනතුරුව ඇය 2012 වර්ෂයේදී ලෙඩින් ගෝල්ඩ්  තරගාවලිය ඉලක්ක කරගනිමින් තමන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා. ඒ අතරතුරදීත් නෙදර්ලන්තයේ ධාවන තරග රැසකටම සහභාගි වන සිෆාන් ජයග්‍රහණ ලබා ගන්නත් වාසනාවන්තියක් වෙනවා. 2012 වර්ෂයේදී  ලෙඩින් ගෝල්ඩ් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඇයට හැකියාව ලැබෙන්නේ ජීවිතයේ හැරවුම් ලක්ෂක්ද  සනිටුහන් කරමින්.

ඉන් අනතුරුව වසර කීපයක් ගත වූ පසු  ඇය බෙල්ජියමේ පැවැති  night of athletic  තරගාවලියට තරග කළා. එහිදී මීටර් 800 තරග ඉසව්ව ජයග්‍රහණය කළේ 2.00.86 වාර්තාවකුත් සමඟයි. මේ නිසාම ඇය නෙදර්ලන්තය තුළ ධාවන ශූරියක් ලෙස නිරන්තරයෙන් ම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මේ තරගාවලිය නියෝජනය කරන තුරු  සරණාගතයෙක් වශයෙන් නෙදර්ලන්තය තුළ ජීවත්වූ ඇයට නෙදර්ලන්ත පුරවැසිභාවය ලැබුණා.

ඉතින් මේ අපූරු කාන්තාව මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් මීටර් 5000 තරග ඉසව්ව නියෝජනය කලා. ඉතින් මේ අවස්ථාවේදී සිදු වුණේ හරි අවාසනාවන්ත සිදු වීමක්  එනම් සිෆාන් අසලින් ධාවනයේ යෙදුණු කෙන්යානු ක්‍රීඩිකාව පය පැටලී ඇද වැටීමත් සමග සිෆාන් ද ධාවන පථයේ ඇදවැටීම නිසයි.

ඉතින් අසුරුසැනින් අනිකුත් තරගකාරියන් ඇය පසුකරගෙන ඉදිරියට ඇදෙද්දී කිසිවිටකත් තරගය පරාද වෙන්නේ නැහැ කියන සිතුවිල්ලෙන් සිටපු ඇය අසුරුසැනින් නැගිට යළි හැල්මේ දිවීම ආරම්භ කළා. ඉතින් ඇගේ දක්ෂතාවය නිසාම ඇය පසුකර දිවු ක්‍රීඩිකාවන් පසුකරමින් තරඟයේ  රන් පදක්කම ජයග්‍රහණය කිරීමට මේ අපූරු ක්‍රීඩිකාවට හැකියාව ලැබුණා.

මෙවැනි කතා ලෝකය පුරා නොයෙකුත් ආකාරයෙන් අපිට අහන්නත් දකින්නත් ලැබෙනවා. ඉතින් මේ ක්‍රීඩිකාව සියලුම දෙනාගේ ජීවිතයට දෙන්නේ අපූරු ආදර්ශයක් එනම් උත්සාහය කියන දේ අපේ ජීවිතයට ඉතාමත් වැදගත් කියන අපූරු පණිවිඩය. උත්සහවන්තයා  ජයගනී එහෙමත් නැත්නම් හිත ඇත්නම් පත කුඩා ද කියලා කියන්නේ මෙන්න මේ කාරණාව නිසයි.

M.ශෂිකලා මදුෂානි
BA in Communication Studies