Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලාංකීය ආහාර රස ලොව ඉදිරියේ තවරා ඇමෙරිකානු ආහාර පිසීමේ තරගය ජයගත් පුංචි කෙල්ල

ශ්‍රී ලාංකීය අභිමානය බොහෝ අවස්ථාවන් වලදී විවිධ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් මත ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින්ම ඔසවා තබන්න අපට හැකියාව ලැබුණා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නෙත් ඒ ආකාරයෙන් නැවත වාරයක් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය ඉදිරිපිට ඔසවාතැබූ හරි අපූරු පුංචි දැරියක් පිළිබඳවයි.

ඉතින් ජයග්‍රහණයක් ලැබීමට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ලෝකෙටම ඔප්පු කරලා පෙන්නපු ඇය නමින් ජෝර්ජියා වේ. ඇය පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගන්නේ ජුනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා 2020 තරගය ජයග්‍රහනය  සුන්දර පුංචි කෙල්ල නිසයි.

ජූනියර් masterchef ඕස්ට්‍රේලියා තරගාවලිය කියන්නේ ඕස්ට්‍රේලියාව තුළ ප්‍රසිද්ධ තරගාවලියක්. මේ තරගාවලියට අවුරුදු නමයක් දාහතරත් අතර වයසේ දරුවන් 14 දෙනෙක් සහභාගි වුණා කියලා සඳහන් වෙනවා. මේ තරගාවලිය පැවැත් වුණේ තෙවැනි වතාවටයි.

ඕස්ට්‍රේලියාවේ චැනල් 10 රූපවාහිනිය හරහා විකාශය වු මේ අපූරු වැඩසටහන අන්තර්ජාලයෙන් ලෝකවාසී සියලුම දෙනාට නරඹන්නත් අවස්ථාව උදාවුණා. අවුරුදු 11 ක් වයසැති මේ පුංචි දැරිය උයන්න ඉගෙන ගෙන තියෙන්නෙ ආච්චි අම්මගෙන්.

ඉතින් ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන ඇය නිරන්තරයෙන්ම තමන්ගෙ ශ්‍රී ලාංකික ආච්චි සහ සීයා ට බෙහෙවින් සමීප තැනැත්තියක්. ඉතින් පුංචි ජෝර්ජියා මුල ඉඳන්ම මේ අපූරු කෑම වර්ග පිසින්නේ ආච්චි අම්මගෙන් අහගෙන කියලා දැනගත් විනිශ්ච මණ්ඩලය පුදුම වෙනවා.

ඒ වගේම ඇයට වයස අවුරුදු තුන තරම් කුඩා වියේ පටන් ම ඇය මුළුතැන් ගෙයි වැඩවලට උදව් පදව් කරමින් උයන්න ආසාවෙන් හිටියා කියලා ඇගේ මව සඳහන් කරනවා.

ඉතින් මේ තරගය අතරතුර හරි අපූරු සිදුවීමකට ඇය මුහුණ දෙනවා. ඇය අතුරුපස සකසන කාර්යය කරන විට ගැටලුවකට මුහුණ දෙනවා. ඒ කියන්නේ ඇය හදන්න ගියපු අතුරුපස වැරදෙනවා. මෙන්න මේ අවස්ථාවේදීත් කඳුළු සලන ඇය තමන්ටම “මට මේක කළ නොහැකියි ” යන්නෙන් මුමුණනවා.

ඉතින් මේක දැක්කම විනිසුරු මඩුල්ල සහ ප්‍රේක්ෂකයන් ද මොහොතකට ශෝකාකූල වෙනවා. නමුත් උඩුමහලේ තරගය නරඹමින් සිටි ඇගේ මව “ඔයාට පුලුවන් “යනුවෙන් නිරන්තරයෙන්ම දිරිමත් කිරීම නිසා දුවගෙන ඇවිත් ඇගේ මව වැළඳගත් ජෝර්ජියා වැරදුණු අතුරුපස රසවත් අතුරුපසක් බවට පත් කරන්න හැකියාව ලබා ගන්නවා.

ඉතින් ඇය මේ තරගාවලියේ අවසන් තරග වටය සඳහා තෝරගන්නේ ශ්‍රී ලාංකීය පදමට සැකසුම් කහ බතක්, ඌරු මස් කරියක්, වම්බටු මාලුවක්, පපඩම්. ඒ වගේම කියුකම්බර් රයිතා එකක්ද මෙයට එකතු වුණා.

ඉතින් මේ රස බලපු විනිසුරුවන් පැවසුවේ ශ්‍රී ලාංකීය පදමට සැකසු ආහාර හරිම ප්‍රණීත බවයි. ඒ වගේම විනිසුරු මඩුල්ලට පුංචි ජෝර්ජියාගැන ලෝභ හිතනවා කියලා වරක සඳහන් කරනවා.

දුරකථන භාවිතා කරන්න අනවශ්‍ය ආකාරයේ විලාසිතා අනුගමනය කරන්න දරුවන් යොමු වන මෙවන් කාල සීමාවක ජෝර්ජියා කියලා කියන්නේ  දෙමාපියන්ගේ අවවාද අනුශාසනා මැද යහපත් ගමනක් යන සුන්දර දැරියක්.

ඉතින් ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලාංකීය නාමය ඔසවා තැබූ ඇගේ සියලුම කටයුතු එයාකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies