Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ජපානෙට ගිහින් ලංකාවේ ක්‍රමයට එලවලු වවන අපූරු ශ්‍රී ලාංකීය කාන්තාව

අපි අද ඔබට කියන්න යන්නේ ගෙවිලිය යන වදනට අලුත් පරිච්ඡේදයක් එකතු කළ හරි අපූරු කාන්තාවක් පිළිබඳවයි. කාබනික වගාවට අවධානය යොමු කරන මෙවන් කාල සීමාවක ඇය ශ්‍රී ලාංකීය ජනතාවට ගොවිතැන පිළිබඳ අපූරු ආදර්ශ කීපයක්ම  ලබා දෙනවා.

ඇය ජපානයෙන් නරාහි අසුකාවල “ටර්ටල් ෆීට් ෆාම්” ගොවිතැනේ හිමිකාරිය වන උදාරා සංකල්පනි නැමැති ශ්‍රී ලාංකීය තරුණියයි. තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට යන ඇය කාටවත් කරදරයක් නොවී තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන ජපානයේ ඉන්න සාර්ථකම ව්‍යාපාරිකාවක් බවට පත්වෙමින් සිටින තැනැත්තියකි.

ඇය මේ වන විට ජපානෙට ඇවිල්ලා වසර පහළොවක්. අවුරුදු විසි දෙකේදී ජපානයට එන්න තීරණය කරන ඇය කෑගලු බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සඳහා ජපන් භාෂාව තෝරගෙන තියෙනවා. ජපන් භාෂාව ඉගෙන ගන්න තිබ්බ ආසාව නිසාම නිරන්තරයෙන්ම විවිධ ගුරුවරුන් යටතේ මේ භාෂාව ඉගෙන ගන්න ඇය තීරණය කරනවා. කුඩා කාලයේ පටන් ම වෙනත් රටකට ගිහින් අධ්‍යාපනය ලබන්න ඕනි කියන සිතුවිල්ල නිසා ම ඇය 2006 දී ජපන් විශ්වවිද්‍යාලයට තේරෙනවා.

මෙහෙම ජපානයේ කාලයක් ඉද්දි ඇයට හරි අපූරු පුද්ගලයෙක් මුණගැහෙනවා. පසුකාලීනව මේ අපූරු පුද්ගලයා ඔහුගේ ආදරණීය සැමියා බවට පත්වෙනවා. ඔහු ජපන් ජාතිකයෙක් වුණත් ඇයව හමුවූ පළවෙනි අවස්ථාවේදීම අත් දෙක එකතු කරලා ආයිබෝවන් කියලා සිංහලෙන් කතා කරලා තියෙනවා. නිරන්තරයෙන්ම ඔහු සිංහල භාෂාව හදාරපු පුද්ගලයෙක් ඒ නිසාම ඔවුන් දෙදෙනා වසර තුනක පමණ කාලයක් දැන හැඳින ගැනීමෙන් පසු විවාහ වෙනවා.

ඉන් අනතුරුව උදාරා කිරි සහ යෝගට් වගේ පුංචි පුංචි දේවල් නිවසටම බෙදාහරින රැකියාවකට යනවා. යෝගට් ආශ්‍රිත රැකියාවක් නිසාම ඇය ශුද්‍රජීවීන් ගැන බොහෝ දේ අධ්‍යනය කරන්න පටන් ගත්තා. ඇගේ සැමියා විවිධ ආකාරයේ රැකියාවන් ඇයට යෝජනා කරත් ඇය ඒ එකකටවත් කැමැති වෙලා නැහැ .මෙන්න මේ කාලසීමාවේදී ඔවුන් ජීවත්වූ ප්‍රදේශයේ කෘෂිකර්මය ඒකකයෙන් කෘෂිකර්මයට කැමති තරුණ පිරිස් ඒ සඳහා යොමු කරවන පුහුණු වැඩසටහනක් තිබ්බා.

ඉතින් අනිත් රැකියාවල් වගේම ඇය මේකටත් කැමැත්තක් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ස්වාමිපුරුෂයා කවදහරි රැකියාවෙන් විශ්‍රාම ගිය දවසට කෘෂි කර්මාන්තයට යොමු වෙන්න ඕනි කියලා සිතුවිල්ලක් තිබුන නිසාම ඔහු ඇයව බලෙන්ම මේ සඳහා අයදුම් කරවනවා.

ඉතින් ඒ වැඩසටහනට සහභාගී කරවීම පිණිස මුලින්ම සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඉතින් සම්මුඛ පරීක්ෂණයකට කලින් මූණ දීලා නැති උදාරා පළවෙනි අවස්ථාවේදීම බය වෙනවා. නමුත් අවසානයේදී ඇය හරි ආකාරව පිළිතුරු ලබා දුන් නිසා ටික දවසකට පසු මේ වැඩසටහනට තෝරාගත් බව සඳහන් කෙරූ ලිපියක් නිවසට එනවා.

ඇයි කොතරම් ඒ සඳහා අකමැති වුණත් තමන්ගේ ස්වාමිපුරුෂයා කැමති වුන නිසා අකමැත්තෙන් උනත් මාස තුනේ කෙටිකාලීන පුහුණුවට යනවා. මේ කෙටි කාලීන පුහුණුව තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා සම්බන්ධ ආයතන සහ වෙළඳ ස්ථාන ආහාර නිශ්පාදන ආයතන වගේම සාර්ථක අසාර්ථක වගා වගේම පසු සැකසීමත් බීජ සකස් කිරීම තවාන් දැමීම පැළ සිටුවීම ආදී සියලුම දේ පිළිබඳ දැනුම ඔවුන්ට රජයේ වියදමෙන් ලබා දෙනවා.

මෙන්න මේ අවස්ථාවේ දී මේ වැඩසටහනට සහභාගි වූ එක්තරා පුද්ගලයකු විසින් පවත්වාගෙන යන ගොවිපොළක් නරඹන්න ඇය යනවා. ඉතින් මේ ගොවිපළ දැකපු ඇය මෙතෙක් අකමැත්තෙන් හිටපු මේ ක්ෂේත්‍රයේ පිළිබඳ උනන්දු වෙන්න පටන් ගන්නවා. ඇයටත් අවශ්‍ය වුණා ඇගේම කියලා සිහින ගොවිපලක් නිර්මාණය කරන්න. ඒ නිසාම ඒ කාටත් නොකියා එයට “Turtle Feet Farm” කියලා  නමකුත් තීරණය කරනවා.

කෙසේ නමුත් මේ පුහුණු පාඨමාලාවෙන් පසු මාස තුනකින් තමන් වවන බෝගය පිළිබඳව තීරණය කර තවත් වසරක පුහුණුවක් ප්‍රසිද්ධ ගොවි මහතකු යටතේ ලැබිය යුතුයි. ඉතින් මේ පුහුණුව ලබන්න ඇය සාර්ථක ලෙස යොමු වෙනවා. ඇය ඇස්පරාගස් ගොවි මහතෙකු ලඟ මාස තුනක් සහ වසරක් ම  කිසිම වැටුපක් නැතිව සේවය කරනවා.

ඇයට කියලා උදැල්ලක් වත් නොතිබුණු මේ කාලයේදී ඇය මාස තුනක පුහුණුව අවසන් කර වසර 5ක ඇගේ ගොවිපල සඳහා සැලැස්මක් තීරණය කරනවා. මේ සඳහා නිරන්තරයෙන් ම රජයේ නිලධාරීන්ගෙන් ඇයට උදව් උපකාර ලැබුණා.

රජයේ සහයෝගය මැද වවන්න තීරණය කරන ඇය මුලින්ම විශාල ප්‍රමාණයක වගා කළා. ඇගේ ප්‍රධාන බෝගය තමයි අස්පරා ගස් වගා කිරීම. ඊට අමතරව බ්‍රොකලි, නිවිති, රොමේන් ලෙටස්, තට්සොයි නැමැති බෝග වගා කරනවා. ඇය මේ වන විට හරිතාගාර දෙකක අස්පරා ගස් වවලා තියෙනවා. මේ වෙද්දි ඇය කලින් ආරම්භ කල සැලැස්මට අනුව ඇගේ ගොවිපල සාර්ථකත්වයට පත් කරගන්නවා.

ඇය තමා නිෂ්පාදනය කරන කෘෂි බෝග වර්ග අතරින් ජපන් වෙළඳපොළට හරි අපූරු ලාංකීය මිශ්‍රණයක් හඳුන්වා දෙනවා. එය තමා පරිප්පු සමග නිවිති කරිය. ඉතින් ඒ සඳහා ජපන් සමාජයෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා ඇය සඳහන් කරනවා. නිවිති ජපානයේ වැඩිපුර ප්‍රසිද්ධ නොවුනත් මුලින්ම ඇය ඒ පිළිබඳව ජපන් ජනතාව දැනුවත් කරනවා.

නිවිති ආශ්‍රිත නූඩ්ලස්, සුප් වැනි දේ ජපන් වැසියා අතර ජනප්‍රිය කරන්න ඇය සමත් වෙනවා. වර්තමානය වන විට ඇගේ ගොවිපළෙන් අලුත්ම එළවළු වර්ග ඇය මේ වනවිට වෙළඳ පොලට නිකුත් කරනවා. ඉතිං ජපානය වැනි රටකට ඇවිල්ලා තමන්ගේ ජීවිතය ජයගන්නවා කියන්නේ ඇත්තටම අභියෝගයක්. වර්තමානය වෙද්දී මේ අපූරු අභියෝග ජයගත් උදාරා උත්සාහය ඇත්නම් කළ නොහැක්කක් නොමැත යන්න සියලු දෙනාටම පසක් කර අවසන්.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies