Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ලක්ෂ 15වේ වැටුප් අතහැර මහපොළොව අස්වද්දන ගුවන් යානා ඉංජිනේරුවරිය

කොතෙකුත් මිල මුදල් ලැබුණත් තමන් ආස කරන දේ කරන්න ඕනිම නම් මිනිස්සු ඒ සියල්ල පසෙකලා හදවත ආශා කරන දේ කරන්න පෙලඹෙනවා.ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ  කාන්තාවක් ලෙස මුලින්ම ගුවන් යානා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරියක් වුණු අපූරු පුද්ගලයෙක් ගැනයි.

ඇය නමින් දීප්ති දොඩම්ගොඩ ය. ඇය ජීවත් වුණේ පැලැන්වත්ත ගම් පියසේ. මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 5 ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ දේවි බාලිකාවට යනවා .පාසලෙත් කැපී පෙනෙන දක්ෂ ක්‍රීඩිකාවක් වූ ඇය දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩා කරා. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙන ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න තීරණය කරනවා.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට තීරණය කරන දීප්ති 2008 වර්ෂයේ ඔස්ට්‍රේලියාවට යන්න හිතන්නේ තමන්ටම  කියලා ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟා ගන්න. ඒ වගේම ඇගේ යට හිතේ තිබුණු අරමුණක් තමයි තමන්ටම කියලා කෙසේ හෝ ගොවිපලක් හදා ගන්නවා කියන එක.

ඒ වගේම අවුරුදු 15 විතර වයසක ඇගේ හිතේ තිබුණු තවත් බලාපොරොත්තුවක් තමයි ගුවන්යානා ඉංජිනේරු වත් වෙන එක. ඉතින් ඒ සඳහා විශාල මුදලක් වැය වෙන නිසා ඇයට ඒක හීනයක්ම විතරක් වුණා. නමුත් ඕස්ට්‍රේලියාවට පිටත් වුණාට පස්සෙ මාස තුනක් විතර තාවකාලික රැකියාවක් කරන ඇයට ඕස්ට්‍රේලියාව තුළ දී මූල්‍ය ක්ෂේත්රයේ ස්ථිර රැකියාවක් ලැබෙනවා.

ඉතින් මේ රැකියාවෙන් මුදල් ටිකක් හම්බ කර ගන්නා දීප්ති බ්‍රිස්බන්වල තියෙන සරසවියට ඇතුළත් වෙනවා. ඉතින් ඇය මේ සරසවියට ඇතුළත් වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පාඨමාලාව හදාරන්න. මේ පාඨමාලාව තුළ සිටි එකම කාන්තාව දීප්තියි.

ඉංජිනේරු පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා ඇයට වසරක් ඇතුළත විභාග දාහතකට පෙනී සිටින අවස්ථාව උදාවුණා. ඉතින් ඒ හැම දෙනා අතරින් ඉහළම ලකුණු ලබා ගන්නේ දීප්තියි. ඉන් අනතුරුව ගුවන් සේවයේ ප්‍රායෝගික පුහුණුව සඳහා විදෙස් රටවල ගුවන් සේවා සමාගම් වලට ඔවුන් අනියුක්ත කරනවා .

එහිදී අබුඩාබි ගුවන් සේවයේ පුහුණුවට යාමට ඇය තේරෙන්නේ පුහුණුලාභීන් එකසිය විසි දෙනකු අතරින් තෝරාගත් හත් දෙනා අතරට එක් වෙමින්. ඉතින් ඇගේ දක්ෂතාවය සහ කුසලතාවය හේතුවෙන්ම අබුඩාබි ගුවන් සේවයේ ඇයට ස්ථිර පත්වීම් ලැබෙනවා. ඉතින් ඇගේ ප්‍රධානම කාර්යභාරය වුණේ ගුවන් යානා මිලදී ගන්න යද්දී ඒවා නිසි ආකාරයෙන් පරික්ෂා කිරීම.

ඉතින් මේ ආකාරයෙන් ගුවන් යානා පරික්ෂා කරන්න ඇය යුරෝපය සහ ඇමරිකාවේ  රටවල් රාශියකට ම ගියා කියලා  සඳහන් කරනවා. අබුඩාබි ගුවන් සේවයේ රැකියාවේ නිරත වූ ඇය මාසෙකට ලැබෙන දින හතරේ නිවාඩුවට ලෝකේ සුන්දර හැමතැනකම සංචාරය කරන්න යනවා. ඒ අතර තමන්ගේ මව් දෙමව්පියන් බලන්නත් ඇය ලංකාවට කීප වතාවක්ම එනවා.

ඉතින් 2019 වසර වන විට ඉන්ධන මිල අඩු වීමත් සමගම මැදපෙරදිග කලාපයේ විශාල අර්බුදයක් ඇති වුණා. ගොඩක් දෙනෙක්ගේ රැකියා අහිමි වුණා. ඉතින් ඇය රැකියාව කරපු සමාගමෙන් දෙසීයක් විතර අයින් කළා. නමුත් ඇයට සේවය කරන්න අවස්ථාව තිබුණා. ඒ ආයතන බොහෝ දෙනෙක් දීප්ති අයින් වෙනවට කැමති වුණේ නැහැ. නමුත් තමන් ඉපදුන රටට සේවයක් කරන්න තියෙන වුවමනාව නිසාම ඇය  2019 ඔක්තෝම්බර් මස ඉල්ලා අස්වීමේ ලිපිය ඒ ආයතනයට දීලා ලංකාවට එනවා.

ඉතින් එහෙම ආපු ඇය ඊළඟට හිතාගන්නේ තමන්ගේ හිතේ තිබ්බ තවත් ආසාවක් මල්ඵල ගන්වන්න. ඇය තීරණය කරනවා ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න. කුලියාපිටියේ ඇයටම තිබූ ගොවිපලේ ඇය ස්ථිර වගාව ලෙස පොල් සහ අඹ වවනවා. ඉන්පසු අතුරු බෝග වශයෙන් එළවළු සහ පළතුරු වගා කරන්නත් ඇය තීරණය කරනවා. ඉන් අනතුරුව වසර ගණනාවක්ම පුරන් වෙලා තිබ්බ කුඹුරු අස්වද්දන පටන් ගන්නේ ඇගේ දෑතේ මහන්සියෙන්.කුඹුරු වැඩ සියල්ලම කරන්නේ ඇය විසින් ඇය නිරන්තරයෙන්ම කරන්නේ කාබනික ගොවිතැනයි ඒ නිසා වස විස නැති එළවළු සහ සහල් ඈයට බය නැතුව ආහාරයට ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා.

මේ වෙද්දිත් අතීතයෙත් නිරන්තරයෙන්ම ගොවිතැන් කටයුතු පිළිබඳව සොයා බැලූ ඇය කාබනික ගොවිතැන පිළිබඳ ගොවීන් දැනුවත් කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මසකට ලක්ෂ 15 ක පමණ වැටුපක් ලැබු රැකියාව අමතක කර දමා ශ්‍රී ලංකා වෙනුවෙන් සේවය කරන්න කැපවන මේ අභීත දියණියට අපි හදවතින්ම සුභ පාර්තනා එක්  කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies