Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

රත්තරන් පොළොව අස්වද්දන පරිසරය සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ

පරිසරය කියන්නේ මිනිසාට ස්වභාවිකව අසීමිත සම්පත් ලබා දෙන්නා වූ මිහිපිට ඇති වටිනාම සම්පතයි. නමුත් සොබාදහමින් ලැබුණු මේ අපූරු දායාදය විනාශ කරන පුද්ගලයන් වර්තමාන සමාජය තුළ ඉහේ කෙස් ගානට දැකගන්න පුළුවන්.

හොඳින් වැඩුණු රූක්ෂ ගස් කපා හෙළා විකුණන පුද්ගලයන් වගේම එක ගහක් හෝ මාතෘ භූමිය වෙනුවෙන් හිටවන්නට වෙර දරන අපූරු පුද්ගලයනුත් මේ ලංකාදීපය තුළ නැති වෙන්න බැහැ. පරිසරයට ආදරය කරන මිනිසා පරිසරය විසින්ම රැක ගන්නවා කියලා පැරණි කියමනක් තියනවා. නිරන්තරයෙන්ම පරිසරයට ආදරය කරපු පරිසරය සමග තම ජීවිතය ගත කරපු හරි අපූරු පුද්ගලයෙක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. 

ඔහු නමින් එම් ඩී කරුණාදාස මහතා යි. ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ජීවත් වන ඔහු නිරන්තරයෙන්ම පරිසරයට ආදරය කරපු පරිසරවේදියෙක් කිව්වොත් නිවැරදියි. විශාල කාලයක සිට පරිසරය සුරකීමේ විවිධ වූ ක්‍රියාමාර්ග උදෙසා පෙනී සිටි ඔහු “පරිසරය සුරැකීමේ සංවිධානයේ” නිර්මාතෘ වශයෙන් කටයුතු කරනවා.

මොහු පිළිබඳව විශේෂයෙන් කතා කරන්න අපි සූදානම් වෙන්නේ  ඔහු රටට බරක් නැති පොලොවට බරක් නැති රත්තරන් මිනිසකු නිසයි. කරුණාදාස මහතා සතු කුඩා ගෙවත්තක් තියෙනවා. ඉතින් මේ අපූරු ගෙවත්ත තුල තියන ඉඩකඩ කිසිවිටකත් අපතේ යවන්නේ නැතුව මේ අපූරු පුද්ගලයා කාබනික පොහොර යොදා ගෙන හරි අපූරු වගාවක් පටන් ගන්නවා.

ඉතින් ගෙවත්ත කුඩා වුණත් ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි ඔහු විසින් ගෙවත්ත සකස් කර ගන්නා අතර මේ ගෙවත්තේ අඹ,නාරං,දෙහි,දොඩම්,කාමරංකා සහ අන්නාසි වැනි පලතුරු වර්ග ද කොහිල,කරපිංචා,බටු,තක්කාලි,කතුරුමුරුංගා වැනි එළවළු වර්ග සහ විවිදාකාර පලා වර්ග ද  මේ අපූරු ගෙවත්තේ වවන්න කරුණාදාස මහතා තීරණය කරනවා.

ඉඩකඩ සීමිත නිසා එය ප්‍රශ්නයක් කර නොගන්නා මෙතුමා නිවසේ වහලය මත ද පෝච්චි සකස් කර පැළ වර්ග සිටවා තිබෙනවා. ඉතින් මෙතුමාගේ වගාවේ අපූරුම දේ තමයි අස්වැන්න නෙලා ගැනීම උදෙසා කරුණාදාස මහතා කිසිම දවසක රසායනික පොහොර තමන්ගේ ගෙවත්තේ අහලකටවත් ගන්නේ නෑ.

පොළොව නිසරු කරන මිනිසුන් ලෙඩ කරන රසායනික පොහොර ඔහු කිසිම දිනක භාවිතා කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔහු තමන්ගේ වගාවට පොහොර සඳහා යොදාගන්නේ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය දියර පොහොර නිපදවන යන්ත්‍රයක් මඟින් නිපදවා ගැනීමෙන්ය.

ඒ වගේම මිදුල් අතුගා ඉතුරු වන කොළ රොඩු සහ අවට පරිසරයෙන් ලබා ගන්නා වියලි ගොම කුඩු දහයියා කුඩු  ආදී දේ යොදාගෙන අපූරු කාබනික පොහොර නිපදවා මේ ශාක වර්ධනයට සහ එහි කෘමි  සහ දිලීර උවදුරු අවම කරන්න ඔහු යොදා ගන්නවා.

තමන්ගෙ වගාව පිළිබඳව වැඩිදුරටත් පවසන කරුණාදාස මහතා සඳහන් කරන්නේ ඔහුගේ මේ කාබනික වගාව නිසා පසුම්බියේ ඔහුට අමතර මුදලක් ඉතිරි කර ගන්න හැකියාවක් ලැබුණා කියලයි. ඒ වගේම තමයි මේ අපූරු පුද්ගලයා ජපානය,සිංගප්පූරුව,තායිලන්තය සහ මාලදිවයින ඇතුළු රටවල් දොළහකට පමණ මේ වෙද්දි සංචාරය කර ඇති බවත් ඒ කිසිම රටක ශ්‍රී ලංකාව හා සමාන රත්තරන් පොළොවක් ඔහු දැක නැති බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

රට තුළ  ජීවත්වන ජනතාව පරිසරයට ආදරය කරන ආඩම්බරකාර ජනතාවක් විය යුතුය  යන්න කරුණාදාස මහතාගේ මතයයි. ඉතින් තමන්ගෙ දහඩිය මහන්සියෙන් රත්තරන් පොළොවක් අස්වද්දන මේ අපූරු ව්‍යවසායකයාට ගොවිතැන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා  අපි හදවතින්ම සුබ පාර්තනා ය කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies