Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ක්‍රිකට් පුහුනුකරුවන් අතරින් සිව්වන මට්ටමේ පුහුණුකරු පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබූ ලාංකිකයා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තබන්න කටයුතු කරපු ක්‍රීඩකයන් රාශියක් අපිට හම්බ වෙනවා. ඉතින් මේ අපූරු ක්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකාව කියන පුංචි රට අනිත් රටවල් අතර ප්‍රසිද්ධියට පත් වෙන්න පටන් ගත්තා.ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ  ශ්‍රී ලංකාව තුළ ගොඩක් දෙනෙක් ආස කරන ඒ වගේම ආදරේ කරන ක්‍රීඩාවක්. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ මේ ක්‍රීඩාව හරහා යලි වතාවක් ශ්‍රී ලාංකීය නාමය බැබළ වූ හරි අපූරු පුද්ගලයෙක් ගැනයි.

ඔහු නමින් තරිඳු පෙරේරා වේ. ඔහු කලක් ශ්‍රී ලංකාවේ හිටපු පළමු පෙළ ක්‍රීඩකයකු ලෙස හඳුන්වන්න පුළුවන්.ඉතින් අපි අද ඔබට ඔහු ගැන කියන්න යන්නේ ඔහු පසුගිය කාල සීමාවකදී ලබාගත් හරි අපූරු ජයග්‍රහණයක් නිසයි. එනම් එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ඉහළම සුදුසුකම ලෙස සලකන විශේෂඥ පුහුණුකරු හෙවත් සිව් වන මට්ටමේ පුහුණුකරු පාඨමාලාව හැදෑරීම සඳහා  අපේ රට නියෝජනය කරන ඔහුව තෝරා ගන්නවා.

තරිදු පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ අශෝක විද්‍යාලයෙන්. පාසල් යන කාල සීමාවේ දී 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම ඔහු තේරුණු අතර ඒ කණ්ඩායමේ නායකයා වෙන්නත් ඔහුට වාසනාව ලැබුනා. ඉන් අනතුරුව පාසලේ පහළොවෙන් පහළ 17 න් පහළ සහ 19 න් පහළ යන කණ්ඩායම් වල නායක තනතුරු හෙබවූවෙත් ඔහු විසින්.

ඔහු දැක් වූ දක්ෂතාවය නිසාම වර්ෂ 1999 දී දාහතෙන් පහළ ජාතික ක්‍රිකට් සංචිතයට ඔහු ඇතුලත් වෙනවා.ඉතින් මෙන්න මේ කාලසීමාවේදී ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ඔහු ජීවිතයේ තීරණාත්මක අවධියක් පසු කරනවා. ඔහු සඳහන් කරන ආකාරයට ඒ කාලය ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට තේරෙනවා කියන්නෙත් ඉතාමත් අපහසු දෙයක්.ඒ නිසා ඔහු තීරණය කරනවා ක්‍රිකට් ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න එංගලන්තයට පිටත් වෙන්න. එංගලන්තය ක්‍රිකට් සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට සුදුසු විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කර ඇති අතර එය  රොහැම්ප්ටන් විශ්වවිද්‍යාලය ලෙස ප්‍රසිද්ධයි.

2005 වර්ෂයේදී මේ විශ්වවිද්‍යාලය ක්‍රීඩා විද්‍යාව උපාධිය කරන්න තරිදු පෙරේරා සුදුසුකම් ලබනවා. එංගලන්තයේ සිටින කාලයේදී එංගලන්තයේ පොඩි පොඩි ක්ලබ් එක්ක  එකතුවෙලා ක්‍රිකට් තරග පැවැත්වූවා කියලත් ඔහු සඳහන් කරනවා.

ඉන් අනතුරුව  ඔහු 2007  වර්ෂයේදී  නොදම්ටන් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ දෙවන පෙළ කණ්ඩායමට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබනවා.කෙසේ නමුත් ඔහුට ඇතිවූ ආර්ථික ප්‍රශ්න නිසා උපාධිය හරියාකාරව සම්පූර්ණ කර ගෙන යාමට නොහැකි  වන නිසා 2011 වර්ෂයේ දී යළිත් ලංකාවට පැමිණෙනවා’

ලංකාවට  පැමිණ නැවතත් එංගලන්තය බලා  පිටත්වීමට තීරණය කරන ඔහු එංගලන්තයේ ක්‍රිකට් සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා.ඉන් අනතුරුව ඔහු ඉගෙන ගත් දේ අතුරින් ක්‍රිකට් පුහුණු කිරීම ද සුළුවෙන් ආරම්භ කරනවා.

2014 වර්ෂයේදී ඔහු විසින්  ceylon cricket academy නමින් ක්‍රිකට් පාසලක් ආරම්භ කරනවා. මේ වන විට විශ්වවිද්‍යාලයේ ඔහුගේ ක්‍රිකට් පුහුණුකරු උපාධිය අවසන් කර තිබීම නිසා  ඔහු සතුව විශාල දැනුම් සම්භාරයක් තිබුණා.

මෙහෙම ක්‍රිකට් පුහුණු කරගෙන යන අතරතුර ඔහුට එංගලන්තයේදී  ප්‍රසිද්ධ ක්‍රිකට් සමාජයක 10 න් පහළ සහ දාහතරෙන්  පහළ කාන්තා දෙවන පෙළ ක්‍රිකට්  කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්න අවස්ථාව හිමි වෙනවා.ඉතින් මේ ලැබුණු අවස්ථා නිසාම ඔහු එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ පුහුණුකරු පාඨමාලාව සඳහා සුදුසුකම් ලබනවා.

මේ පාඨමාලාවේ තුන්වන අදියරේ  පාඨමාලාව් ඉතාමත් සාර්ථක ලෙස අවසන් කළ ඔහු සිව්වන අධියර ඉගෙන ගැනීම සඳහා තේරී පත්වෙනවා මෙතෙක් මේ විශේෂඥ පුහුණුකරු පාඨමාලාව සාර්ථකව අවසන් කරලා තියෙන ලෝකෙ පුහුණුකරුවන් තුන් දෙනෙක් පමණයි.ඉතින් ඒ ගොඩට ඇතුළත් වෙන්න මොහුගේ මූලික ම අරමුණක් සහ අධිෂ්ඨානයක් තියෙනවා.

ඉතින් ඒ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි හදවතින් ම ඔහුට සුබ ප්‍රාර්ථනා කරමු.

උපුටාගැනීම – බීබීසී වේබ් අඩවියෙන්

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies