Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දෑස් නොපෙනුනත්,කැඩෙට් පුහුනු කරන පරිගණකයෙන් වැඩ කරන අපූරු පාසල් ගුරුතුමා

ආබාධිත තත්ත්වය ජීවිතයේ බාධාවක් ලෙස නොසලකා ජීවිතය ජයගත් බොහෝ පුද්ගලයන් පිළිබඳව අපි නොයෙක් වර අහලා තියෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ එයාකාරයෙන් ජීවිතය ජයගෙන තමන්ගේ ආබාධිත තත්ත්වයට ජීවිතය පරාද කිරීමට ඉඩ නොදුන් හරි අපූරු ගුරුවරයෙක් පිළිබඳවයි.

වර්ෂ 1993 පෙබරවාරි මස පළ වෙනි දින ගුරුවරයෙකු ලෙස පත්වීම් ලබන ඔහු නමින් මංගල මුණසිංහ ගුරු මහතා වේ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විෂය ධාරාව යටතේ මහජන පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබාගත්  විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් මේ සුවිශේෂී චරිතය සේවය කරන්නේ කළුතර අධ්‍යාපන කොට්ඨාසයේ බෝම්ඹුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේයි. ඇත්තටම  ආබාධිත තත්ත්වයෙ ගුරුවරයා පසු වුණත් ඇස් දෙක පෙනෙන පුද්ගලයන්ටත් වඩා විශාල සේවයක් මෙතුමා විසින් පාසලට සිදුකරන බව බොහෝ දෙනෙක් පවසනවා.

ඉතින් ඇස් දෙක පේන් නැති පුද්ගලයෙක් ශිෂ්‍ය භට කණ්ඩායමක් පුහුණු කරනවා කිව්වොත් ඔබ පුදුම වෙනවා නොඅනුමානයි. නමුත් මේ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සියලුම වගකීම් දරන්නේ මෙතුමා විසින්. ඉතින් ඔහු මේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. මුලින්ම මේ කණ්ඩායම තූර්‍ය වාදක කණ්ඩායමක් ලෙස ආරම්භ කරත් තූර්‍ය වාදක කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය භාන්ඩ නොමැතිවීම නිසා 2015 වසරේදීත් ශිෂ්‍ය භට කණ්ඩායමක් දක්වා මෙය වර්ධනය කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

මොහුගේ අපූරු පුහුණුවීම් මත සමස්ත ලංකා ශිෂ්‍ය භට තරඟාවලිය පදක්කම් තුනක් දිනාගන්න මේ විදුහලට හැකියාව ලැබුණා. ඉන්පසු ඔවුන්ට සමස්ත ලංකා ශිෂ්‍ය භට තරගාවලියේ දාහත්වන ස්ථානයට පත් වීමටත් අවස්ථාව උදා වුණා.ඉතින් මේ ශිෂ්‍ය භට යන්ට නිරන්තරයෙන්ම සිද්ධවෙනවා සරඹ සංදර්ශනවලට සහභාගි වෙන්න. ඉතින් මේ සියලුම සරඹ සන්දර්ශන පුහුණු කරන්නෙත් මේ අපූරු ගුරුවරයා කියලා සදහන් කරනවා.

ඉතිං ඔහු නිරන්තරයෙන්ම පවසන්නේ ඔහුගේ ඇස් නොපෙනුනත් දරුවන්ට ඇස් පේනවනේ යන්නයි. ඉතිං නිරන්තරයෙන්ම ඔහු දෙන අවවාද අනුසාසනා දරුවන් ඉක්මනින්ම තේරුම් ගන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ අපූරු ගුරුවරයා පිළිබඳව වරක සිසුවෙක් පවසන්නේ මෙන්න මේ වගේ දෙයක්,

“අපි පුහුණුවීම් කරන කොට අපිට කවන්නේත් සර්. අපි අද මේ ලබපු ජයග්‍රහණ ඔක්කොම ලබලා තියෙන්නෙත් අපේ සර් නිසා “

යනුවෙන් ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුවෙක් පවසනවා. මේ අපූරු ගුරුතුමාගේ කුඩා කාලය ගැන සඳහන් කරද්දී ඔහු මූලික අධ්‍යාපනය ලබලා තියෙන්නේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලෙන්. ඔහුගේ ගම්පියස වන්නේ කළුතර දොඩංගොඩ රේන්දපොල ප්‍රදේශයයි.

මොහු මේ ආබාධිත තත්ත්වයට මුහුණ දීලා තියෙන්නේ උපතින් නෙමෙයි කුඩා කාලයේ සාමාන්‍ය පරිදි පෙනීම තිබුණු බවත් පාසල් යන අවධියේදී ඇස්වල පෙනීම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත් බවත් ඔහු පවසනවා. ඉතින් මේ පිළිබඳව වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්නා ඔහුට වෛද්‍යවරුන් පැවසුවේ විදුලි ආලෝකයෙන් පාඩම් කටයුතු කිරීම නවත්වන ලෙසයි.

නමුත් අධ්‍යාපන කටයුතු මගහැර ගැනීමට අකමැති වූ ඔහු දිගටම ඒ කාර්යයේ නිරත වෙලා. මේ නිසාම ඇස්වල ස්නායු සම්බන්ධයෙන් ඇති වූ දෝෂයක් නිසා ඔහුට ඇස් පෙනීම ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා කියලා සඳහන් කරනවා.

ආබාධිත තත්ත්වයේ පසු වුණත් ඔහු නවීන තාක්ෂණය සමඟ තම දරුවන්ට අවශ්‍ය දේ දෙන්න නිරන්තරයෙන්ම කැපවෙනවා. ඔවුහු පරිගණකයෙන් නිතරම අලුත් දේ අත්හදා බලා ඒ සියලු දේ දරුවන්ට කියා දෙන්නත් අමතක කරන්නේ නැහැ. ඔහු පාසලේ ව්‍යාපාර අධ්‍යනය විෂයක් ලෙස උගන් වන අතර ඊට අදාළ සියලුම නිබන්ධන සහ පාඩම් සියල්ල පරිගණකයෙන් සකස් කරගන්නවා

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ ආබාධිත තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට කිසිසේත් අනුකම්පා නොකර ඔහුගේ ජීවිතය නගා නගාසිටුවීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර දෙන ලෙසයි. ඉතින් තමන්ගේ ශක්තියෙන් ලෝකය ජයගත් මෙවැනි අපූරු ගුරුවරුන් තව ලොව කොතෙක් ඇතිද? ඒ සියලුම දෙනාට මේ ලිපිය උපහාරයක්ම වේවා.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies