Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළමින් ඉරණමට අභියෝග කළ ශ්‍රී ලංකාවේ වොන්ඩර් වුමන්

රෝගී තත්ත්වයන්  නිසා ජීවිතය පිළිබඳ අසුභවාදී විදිහට බලන මිනිසුන් අතර සීයට එකක් හරි සුබවාදී ලෙස ජීවිතය දෙස බලන මිනිස්සුත් නැතුවම නොවේ .ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ජීවිතයේ කෙතරම් අභියෝග ආවත් දරාගත නොහැකි සිදුවීම් අහන්න දකින්න ලැබුනත් එයින් නොසැලී ඉදිරියටම ගමන්  කළ අපූරු වීර කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් ශවිනි ප්‍රනාන්දු වේ.ඇය දිරිය කාන්තාවක් ලෙස හඳුන්වන්නේ වෛද්‍ය විද්‍යාවටත් තමන්ගෙ දෛවයටත් අභියෝග කළ තරුණියක් නිසයි.දිනක් ඇය තම මිතුරියක් සමග විනෝද චාරිකාව ගමන් කරන අතරතුර ඇගේ මුහුණ ඉතාමත් වේගයෙන් නිල් පාට වෙනවා ඇගේ මිතුරිය දැක්කා.

ඉතින් මේක දැකපු ගමන් බියට පත් වුණු මේ මිතුරියන් ඇයට කියනවා මොළේට සපයන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූවිට තමයි මෙවැනි ආකාරයේ නිල්පැහැ වීමක් දක්නට ලැබෙන්නේ කියලා .ඉතින් මේක ඇහුවට පස්සෙ තරමක් බිය පත් වන ශවිනි වෛද්‍යවරයකු මුණගැසෙන්න යනවා.කොළඹ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වෙත ඇය ප්‍රතිකාර ගැනීම සඳහා යන අතර  එහිදී ඇගේ පෙනහළු පරික්ෂා  කිරීමක් සිද්ධ කළා .මෙහිදී වෛද්‍යවරයා පැවසුවේ ඇගේ හදවතේ සිදුරක් පවතින බවත් ඇයට තව අවුරුදු දෙකක වැනි ඉතා කුඩා කාලයක් ජීවත්වීමට වාසනාව තිබෙන බවත්ය.

 මේක අහපු ශවිනි එකපාරටම කම්පාවට පත් වෙනවා.ශ්‍රී ලංකාව තුළ මෙවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර නොමැති නම් පිටරටක වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නද කියලා ඇය වෛද්‍යවරයා ගෙන් අහනවා .ඉතින් මේක අහපු ගමන් වෛද්‍යවරයාට ගොඩක් කේන්ති ගිය බවත් කොහේ ගියත් මේ රෝගී තත්ත්වය සනීප කරන්න බෑ කියලා වෛද්‍යවරයා කිව්වා කියල ඇය අද පවසනවා.

ඉතින් මේක අහපු ශවිනිට ගොඩක් ලොකු දුකක් වගේම තරහක් ආවලු. ඇය වෛද්‍යවරයාට පවසනවා අවුරුදු දෙකකින් ඇවිත් මම ඩොක්ටර් හායි කියලා යන්නම් කියලා.ඉතින් මේ ධෛර්යසම්පන්න වීර කාන්තාව ඇගේ නැගණිය ගේ ඉල්ලීම මත ඇමරිකාවට යනවා වැඩිදුර ප්‍රතිකාර ලබාගන්න ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රෝහලක නේවාසික වෙලා ප්‍රතිකාර ලබාගන්න ඇය සූදානම් වෙනවා.ඉතින් වෛද්‍ය ප්‍රතිකාරවලින්  වලින් අනතුරුව වෛද්‍යවරුන්ගේ තීරණය වුණේ ඇය දුර්ලභ රෝගී තත්ත්වයක් වන  අයිසන්මෙන්ජර් සින්ඩ්‍රෝම් නැමැති රෝගයෙන් පෙළෙන තැනැත්තියක් බවයි.

අවුරුදු තිස් තුනක් යනකං ශ්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයෙකුට ඇගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වූ බවත් නිරන්තරයෙන්ම ඇයව පෙන්වන වෛද්‍යවරුන් පැවසුවේ ඇයට වීස් එක තියෙනවා කියලයි. ඇමරිකාවට ගොස් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය  ක්‍රමයෙන් සුව අතට හැරෙන්න පටන් ගත්තා.මුලදී අඩි තුන්සියයක් හාරසියක් වත් ඇවිද ගන්න අමාරු  වුණු ඇය දැන් අඩි දෙදහක් විතර තනියම ඇවිදින තත්ත්වයකට පත්වෙලා .ඉතින් මෙයට මූලිකම හේතුව වුණේ ඇමෙරිකාවේ දී සිදු කරපු වෛද්‍ය පරීක්ෂණ කියලා ඇය දැනටමත් සඳහන් කරනවා.

රෝග තත්ත්වයට ප්‍රතිකාර කරගැනීම සඳහා ඇමෙරිකාවට පැමිණුනත් ශවිනි නිකරුණේ කාලය ගත කරන්න නම් කැමති වුන කෙනෙක් නෙවෙයි .එනිසාම ඇය ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා සන්නිවේදනය සංස්කෘතිය සහ තාක්ෂණය යන විෂයයන් යටතේ පශ්චාත් උපාධියක් හදාරන්න තීරණය කරනවා.

දවසක් විශ්වවිද්‍යාලය ඇතුළත ඉගෙන ගනිමින් සිටින විට ඇගේ මුහුණ ක්‍රමයෙන් නිල්පාටට හැරෙනවා යාළුවන් දැක්කා. ඉතින් කරන්න කිසිම දෙයක් නැති තැන ශවිනි වේගයෙන් තමන්ගේම පපුවට ගහ ගත්තා.එවිට ඇය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වුණා කියලා සඳහන් කරනවා .මේ අවස්ථාවකදී ඇයට මොළය නොමැරී පවත්වාගැනීම සඳහා විනාඩි තුනක පමණ කාලයක් පමණයි ඉතුරු වෙන්නේ. ඉතිං හිටිහැටියේ ම මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන නිසා ඉන් අනතුරුව ඇය ඇවිදන සෑම තැනකම ඔක්සිජන් ටැංකියක් අත දරාගෙන ඇවිදින්න පුරුදු වුණා.

ඇගේම නව නිෂ්පාදනයක් ලොවට හඳුන්වා දීම

ඉතිං මෙහෙම කාලය ගත කරන ඇය දිනක් කල්පනා කරනවා තමන්ගෙන් හෘද වස්තුවට ඔක්සිජන් සැපයුම අඩු වූ බව හැඟවීමට සුදුසු උපකරණයක් නිපදවිය යුතු බව.ඉතින් ඇය මේ පිළිබඳව ඇගේ වෛද්‍යවරයාට පැවසුවා ම ඔහු සඳහන් කරන්නේ එය ඉතාමත් හොඳ අදහසක් කියලයි .නිරන්තරයෙන්ම මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස කාලය ගත කළ ඇයට මේ නිර්මාණය සඳහා අවශ්‍ය දැනුම නිතැතින්ම තිබුණා.

එවැනි දේ උපයෝගී කරගනිමින් ඇය හදවතට ඔක්සිජන් සැපයුම අඩුවූවිට දැනගැනීමට හැකි OxiWear නැමැති උපකරණයක් නිපදවනවා.මේ උපකරණය රෝගී  පුද්ගලයාගේ කනට සවි කිරීම මඟින් එයින් නිකුත් කරන පණිවිඩය ජංගම දුරකථනය හා සම්බන්ධ වන ලෙස නිර්මාණය කර තිබේ. යම් හෙයකින් ඇගේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන බව හැඟුණොත් ජංගම දුරකථනය හරහා 911 ට පණිවිඩයක් නිකුත් වන බව ඇය සඳහන් කරනවා. ඉතින් මේ අපූරු නිර්මාණය වෙනුවෙන් පේට්න් බලපත්‍රය ලබා ගන්නත් ඇය වාසනාවන්ත වෙනවා.ඉන් පසු ඇගේ මේ නවෝත්පාදනය  bark tank නැමති තරගාවලියට ඉදිරිපත් කරන අතර එම තරගාවලිය ජයග්‍රහණය කිරීම නිසා ඇයට ඩොලර් 35,000 ක මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඇගේ සහජ දක්ෂතාවය නිසාම ඉගෙනගත් විශ්වවිද්‍යාලය මගින් හොඳම පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් ලෙසද ඇය නම් කර ඇත.කෙසේ නමුත්  වෛද්‍යවරයන්ට අනුව ඇගේ රෝගී තත්ත්වය නිසා ඇයට තව අවුරුදු කීපයකින් හෘද වස්තුව සහ පෙනහලු බද්ධ කළ යුතු බව නිර්දේශ කරනවා.ඒ නිසා ඇමරිකානු ඩොලර් මිලියනයක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ඉතින් මේ වන විට ඇය සූදානම් වෙන්නේ මේ මුදල තමන් විසින්ම උපයා මේ ශල්‍යකර්මය සාර්ථක ලෙස සිදු කරන්න.මේ වන විට  ඇමෙරිකානු ඩොලර් ලක්ෂ හතරකට වැඩිය මුදලක් ඇය සතුව තිබෙනවා කියලා  සදහන් කරනවා.නමුත් මේ ආකාරයෙන් අවයව බද්ධ කරත් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් උපරිම වයස සීමාව අවුරුදු පහක් බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.

ඉතින් කෙසේ හෝ තව අවුරුදු කීපයක් ඇගේ ජීවිතය අල්ලාගෙන ඉන්න ඇය සූදානම් බව සඳහන් කරනවා.ඇගේ මේ අපූරු ධෛර්යසම්පන්න ක්‍රියාවට අපි හදවතින්ම සුබ පතන අතර ඇයට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ළඟා වේවායි ප්‍රාර්ථනා කරමු.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies