Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

උසස් පෙළ විභාගයට වාචිකව පිළිතුරු සපයා ලෝක වාර්තාවක් තබා සරසවි වරම් ලැබූ දිරිය දියණිය

මේ ලෝකෙට උපත ලබන සියළුම පුද්ගලයන් සර්ව සම්පූර්ණ වූ පුද්ගලයන් ලෙස උපත ලබන්නේ නැහැ.විටෙක අසම්පූර්ණ වූ ශරීරයන්ගෙන් යුත් පුද්ගලයනුත් මේ ලෝකයට උපත ලබනවා. ඒ වගේම විවිධ රෝගාබාධයන් උපතින්ම ඇරන් ආපු පුද්ගලයන් ලෙසත් මිනිසුන් මේ ලෝකයට උපත ලබනවා.

නමුත් ඒ ආබාධයන් හෝ එකී රෝගී තත්ත්වයන් ජීවිතය දිනන්නට බාධාවක් කර නොගත් ධෛර්යය සම්පන්න මිනිසුන් පිළිබඳ අපි නොයෙක් වර අසා තිබෙනවා. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ  දෑත දෙපා හරියාකාරව ක්‍රියා කරවීමට නොහැකි දිරිය කාන්තාවක් පිළිබඳවයි.

ඇය නමින් තිළිණි නිමේෂා ජයතිලක වේ.කෑගල්ල ප්‍රදේශයේ උපත ලබන ඇය  ලෝකයක් ඉදිරියේ කතා කරන්න පටන් ගන්නේ  දෑත දෙපා අහිමි වුවත් උපාධියක් ලබාගත් අපුරු ශිෂ්‍යාවක් වශයෙන් ලෝකවාර්තාවක් තැබීමෙන් ය.

ඇයට දෑත දෙපා අප්‍රාණික තත්ත්වයට  පත්වෙන්නෙ උප්පත්තියෙන් මයි. උපතේ දී ඇතිවූ ස්නායු ආබාධයක් හේතුවෙන් ඇය මේ සෝචනීය තත්ත්වයට පත්වෙනවා.නමුත් තමන් ආබාධිතයි යන්න නිරන්තරයෙන්ම හිතමින් ශෝක වෙමින් අඩමින්  තැවෙමින් කාලය ගත කළ පුද්ගලයකු ලෙස නම් ඇයව අපිට කිසිසේත් හදුන්වන්න බැහැ.

උප්පත්තියෙන්ම ආබාධිත දරුවෙක් ලෙස උපත ලබන තිලිණි  මේ ලෝකෙට එන්නේ සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙන්න තියෙන කාලයට වඩා මාසෙකට කලින්. ඒ නිසා ඇය ටෙරිබල් ටොක්සිට් කියන රෝගයට මූණ දුන්නා.මේ නිසාම උපතින්ම මොළේට හානි සිදුවීම නිසා අත්පා කොටස් ක්‍රියාත්මක කරන්න ඇයට හැකියාව ලැබුණේ නැහැ.

ඇයට අවශ්‍ය වූයේ තම හිතේ ශක්තියෙන් කෙසේ හෝ හොඳින් ඉගෙන ගෙන සරසවි වරම් ලැබීමටයි. ලංකාවේ ආබාධිත දරුවන් වෙනුවෙන්ම පමණක් වෙන් කළ විශේෂ පාසලක් වන අබන්පිටිය විශේෂ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඇය හොඳින් අධ්‍යාපන වැඩකටයුතු කරා කියලා පාසලේ ගුරුභවතුන් සඳහන් කරනවා.

අසනීප තත්ත්වය නිසා පුංචි කාලේ ශිෂ්‍යත්ව විභාගයට ඇයට පෙනී සිටීමට නොහැකිවුණත් සාමාන්‍ය පෙළ විභාගය බී සාමාර්ථ දෙකක්ද සී සාමාර්ථ තුනක් හා එස්  සාමාර්ථ තුනක් රැගෙන හොඳින්  සමත් වෙනවා.

ඉන්පසු උසස් පෙළ විභාගයට පෙනී සිටින ඇය උසස් පෙළ විභාගයනුත් බී එකයි,සී එකයි,එස් එකක් අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙන්න වරම් ලබා ගන්නවා.පේරාදෙණි විශ්ව විද්‍යාලෙට ඇය වරම් ලබන්නේ ලෝක වාර්තාවක්ද පිහිටුවමින්.

ඒ කියන්නේ ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ ලිඛිතව උත්තර පත්‍රයට පිළිතුරු සපයලා නෙවෙයි. ඇය පිළිතුරු සපයන්නේ වාචිකවයි. ඉතින් මෙන්න මේ හේතුව නිසාම වාචිකව පිළිතුරු  සපයා විශ්ව විද්‍යාල වරම් ලැබූ ප්‍රථම තැනැත්තිය ලෙස ඇය ලෝක වාර්තාවක්  තැබුවා.

විශ්ව විද්‍යාලය තුල ඇගේ එදිනෙදා වැඩ වැඩ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන්න ඇය සමීපයේ සිටි යහළු යෙහෙළියන් නිරන්තරයෙන් ම ඇයට රුකුලක් වුණා කියලා සඳහන් කරනවා.ඇයට අමාරු පාඩම් ඇය දේශනය අවසන් වු පසු නැවත නැවත මෙනෙහි කරමින් අධ්‍යනය කළ බව පවසනවා.

ඉතින් ලෝකෙ වාචිකව රජය විශ්වවිද්‍යාලයකින් උපාධියක් හිමිකරගෙන  ලෝක වාර්තාව තැබූ මේ අපූරු දැරිය 2017 වසරේදී   විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිකර ගැනීමට තරම් වාසනාවන්තියක් වෙනවා

ඉතින් ඇය නිරන්තරයෙන්ම ජීවිතය පිළිබඳව සුබවාදීව සිතන අතර ඇය ලබාගත් මේ දැනුමෙන් රටට සේවයක් කිරීමට අනාගතයේ බලාපොරොත්තුවෙන් සිටිනවා කියලා සඳහන් කරනවා.

ජීවිතයට කොතරම් අභියෝගතා බාධා ආවත් ඒ සියල්ලම පරදවා ජීවිතය ජය ගැනීමට අවශ්‍ය  එකම  දේ සිතේ ශක්තිය පමණක් බව ඇය මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ඔප්පු කර අවසන්.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies