Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

පාසල් නිවාඩුවේ මුහුද යට සැරිසරා කැළිකඩල ගොඩට ගේන පුංචි කිමිදුම්කාරිය

කුඩා කාලයේ පටන්ම පිහිනීමට මහත් සේ ආසාවක් සහ කැමැත්තක් දක්වපු හරි අපූරු දරුවෙක් තමයි  ඇම්බර් රෝස් කියන්නේ.නිරන්තරයෙන්ම පිහිනීම ඇගේ ජීවිතයේ ප්‍රධාන විනෝදාංශය බවට පත් කරගත් ඈ ඒ සඳහා මනා පුහුණුවකින් සමන්විත වූ දක්ෂ පිහිනුම් කාරියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් උණවටුන සුන්දර වෙරළ ආශ්‍රිතව ජීවත්වන ඇය වසරක පමණ පාසල් නිවාඩු කාලය හරි අපූරු ලෙස පිහිනිම් කටයුතු සඳහා යොදා ගන්නවා .ඇය මේ ආකාරයෙන් අපූරු ලෙස පිහිනීමට දක්ෂතාවයක් දක්වන්නෙ ෂර්ලි කෝරළගේ නැමැති ඇගේ පුහුණු උපදේශකවරයාගේ කැපවීම සහ දක්ෂතාවය නිසයි . කුඩා කල පටන් ම පිහිනීමට දක්ෂතාවයක් දැක්වූ ඇය කිමිදීම සඳහා අන්තර්ජාතික ප්‍රවීණතා සහතිකයක් ලබා ඇති අතර අනාගතයේදී සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ධෛර්ය සම්පන්න දරුවෙක්.

කුඩා කාලය නිරන්තරයෙන්ම තමන්ගේ දෙමව්පියන් සමග මේ බීච් එකේ ඇවිදින්න එන පුංචි රෝස්  මුහුදට ගොඩක් ආස කරලා තියෙනවා.අවුරුදු 10 සම්පූර්ණ වූ විට ඇය  කිමිදුම් උපදේශකයන්ගේ වෘතීය සංගමයේ විවෘත කනිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීමට සමත් වුණා.

ඉතින් තවදුරටත් ඉහළ මට්ටමේ සාමාර්ථයක් ලබා ගැනීමේ අරමුණෙන් ඇය මේ දවස් වල වැඩිපුරම මහන්සි  වෙලා පුහුණුවීම් කටයුතු කරනවා කියලා ආරංචියි.දැනට ඇයට ලැබී ඇති බලපත්‍රයට අනුව ඇයට කිමිදෙන්න පුළුවන් මීටර් 12 යි.නමුත් ඇයට ඊට වඩා වුණත් පීනන්න පුළුවන් කියලා සඳහන් කරනවා  .

නිරන්තරයෙන්ම ඇගේ විනෝදාංශය තමයි උණවටුන සහ ඊට යාබදව පිහිටා තිබෙන රූමස්සල කොරල් සහ මුහුදු ජීවීන් නිරීක්ෂණය කිරීම.ඇය කුඩා කාලයේ පටන් ම තමන්ගේ තාත්තත් එක්ක මේ ආකාරයේ අසිරිය විදි තැනැත්තියක් කියලත් ආරංචියි

ඇය නිරන්තරයෙන්ම මුහුදේ කිමිදීම ට කිසිසේත් බිය නොවන අතර උගන්වන සියලුම  දේත් ඉතා ඉක්මණින් අල්ලා ගැනීමට හැකි මතක ශක්තියක් ඇයට තියෙනවා. නිරන්තරයෙන්ම ඇගේ පියා ඇය කිමිදීමට ප්‍රථම ඇගේ ශරීරය රඳවා ඇති ඔක්සිජන් ටැංකිය සහ බඳ බඳපටිය ආදී සියලුම දේ නිසි අයුරෙන් තිබේදැයි පරික්ෂා කරනවා .

ඉතින් මෙහෙම මුහුදු පතුලේ අසිරිය විඳින්න  යන ඇය කිමිදුම් වෙලාව විනාඩි විස්සක් තිහක් අතර කාලයකට සීමා කරනවා.ඉතින් ඇය මේක විනෝදාංශයක් විදියට කරනවා වගේම මුහුදු පතුලේ තියෙන ප්ලාස්ටික්  කුණුරොඩු ආදී දේද මතුපිටට ගෙනල්ලා බැහැර කරන්න   අමතක කරන්නෙත් නැහැ.ඉතින් ඇගේ අපූර්ව පණිවිඩය තමයි මේ අපූරු සාගර පතුල කිසිවිටකත් අපවිත්‍ර කරන්න එපා කියන දේ .

ඇය විවෘත කනිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීම නිසා ලෝකේ ඕනෑම PADI කිමිදුම්  මධ්‍යස්ථානයක ඇයට  පීනන්න යන්න පුළුවන්  කියලා ඇගේ උපදේශකවරයා  සඳහන් කරනවා.ඉතින් තමන් දැන ගත් පිහිනුම් ශාස්ත්‍රයෙන් ලෝකයට සේවයක් කරන්නත් අනාගතයේ සාගර විද්‍යාඥවරියක් වීමටත් අපේක්ෂා කරන මේ පුංචි තාරකාවට ඇගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවායි  අපි හදවතින්ම සුබ  ප්‍රාර්ථනා කරන්නෙමු .

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies