ආහාර හිඟයට විසඳුමක් ලෙස කොස් පෝෂ හඳුන්වාදුන් ජ’පුර සිසුවා
ආහාර කියලා කියන්නේ මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. වර්තමානය වන විට ආහාර සුරක්ෂිතතාවය ගැන බොහෝ මිනිසුන් දන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ වර්තමානයේ පරිභෝජනය උදෙසා යොදා ගන්නා සියලුම දේ අනාගත පරපුර උදෙසා භාවිතා කිරීමට හැකි වන පරිදි අප විසින් ආරක්ෂා කිරීමයි. අද වන විට බොහෝ අවස්ථාවන්වල දී ආහාර පිළිබඳ කතා කරද්දී අපේ ආහාර ලයිස්තුවේ තියෙන්නේ ගොඩක් වෙලාවට පිටරටවලින් ආනයනය කරපු ආහාර වර්ග .ඒ කියන්නේ අපේ රට මේ වන විටත් ආහාර සුරක්ෂිතතාවයෙන් ඉහළ මට්ටමට ආපු රටක් නෙවෙයි.

ඒ නිසාම අපි බොහෝ ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන තත්වයකට පත්වෙලා ඉවරයි. පිටරටින් ආනයනය කරන විවිධ ආකාරයේ සකස් කරපු ආහාර ද්‍රව්‍ය කිසිවිටකත් ස්වභාවික ආහාර නිෂ්පාදනයන් සමග සංසන්දනය කරන්න නම් බැහැ .එයට හේතුව තමයි එවැනි ආනයනය කරන ආහාර ද්‍රව්‍ය බොහෝ කාලයක් තබා ගැනීම සඳහා යොදා තිබෙන විවිධ ශරීරයට අහිතකර රසායනික සංඝටකයි. වර්තමානයේ පවතින තත්ත්වයත් එකක පෝෂණීය ආහාරයක් ලබා ගන්නවා කියන්නේ දුර්ලභ දෙයක්.මෙවන් කාල වකවානුවක් තුළදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් හඳුන්වා දෙන හරි අපූරු නිෂ්පාදනයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන කළමනාකරණ අධ්‍යයන අංශයේ ඉගනුම ලබන දුලංජ නමැති ශිෂ්‍යයායි. ඔහු කොස් ගසෙන් හරි අපූරු නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දෙන්න පියවර ගන්නවා . ඇත්ත වශයෙන්ම කොස් ගස කියලා කියන්නේ ජාතියේ බත් කියන අන්වර්ථ නාමයෙන් පිදුම් ලැබූ වටිනා ශාකයක් ලෝක ආහාර අර්බුදයට විසඳුම් හොයන කාලසීමාවකදී කොස් ගස කියලා කියන්නේ එයට හරියාකාර විසඳුමක් ලබාගන්න පුලුවන් අපූරු විකල්පයක් . ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තුවක්කුදෑහේන නම් අතිශය දුෂ්කර ගම්මානයක ජීවත්වන මොහු ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිදුකරපු විවිධ පරීක්ෂණ ඔස්සේ කොස් ආශ්‍රිත නව නිෂ්පාදන රාශියක් සොයා ගෙන ඇත.

දුලංජගේ මව සහ පියා වන චන්ද්‍රිකා ප්‍රියන්ති මහත්මිය සහ සරත් ගාමිණී මහතා යන දෙදෙනා ඔහුට අවශ්‍ය උපදෙස් සහ අවවාදයන් නිරන්තරයෙන්ම ලබා දෙන අතර ඔහුගේ හෙවනැල්ල වගේ නිරන්තරයෙන්ම ඔහු දිරිමත් කරනවා. ගමේ පාසල වන ශ්‍රී ධර්මාලංකාර මහා විද්‍යාලයෙන් හා ඉහලගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන මොහු උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලත් වෙනවා. පාසල් අධ්‍යාපන කටයුතුවලට නිරන්තරයෙන්ම දක්ෂතාවක් දක්වන මොහු ජයවර්ධන විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට තරම් වාසනාවන්තයෙක් වනවා. විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතු වන සමිති සමාගම් ආශ්‍රිතව වැඩකටයුතු නිරන්තරයෙන්ම සිදු කරන මොහු ආහාර සුරක්ෂිතතාවය තේමා කරගනිමින් කොස් ආශ්‍රිත මෙවැනි නිෂ්පාදන සිදු කිරීමට තීරණය කරනවා .

ඉතින් ස්වභාවික කොස් ගසෙන් ලැබෙන කොස් මදුලු යොදාගෙන මෙසේ නිර්මාණය කරන කොස් පෝෂ සඳහා ඔහු කිසිවිටකත් කෘතිම රසායනික ද්‍රව්‍ය නම් යොදා ගන්නේ නැහැ. තම නිෂ්පාදන වෙළඳපොලට සකස් කිරීම සඳහා ඉතා පිරිසුදුව ඒවා නිෂ්පාදනය කරන අතර බොහෝ පිරිසකට මේ හා අවශ්‍ය දැනුම ලබාදීමද මොහු විසින් සිදු කරනවා. කෘතිම රසකාරක යෙදූ විවිධ නිෂ්පාදනයන් වෙනුවට මොහු විසින් නිෂ්පාදනය කරපු කොස් පෝෂ නිෂ්පාදනය වෙනුවෙන් 2018 වර්ෂයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හොඳම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානයත් ,2019 වර්ෂයේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හොඳම නවොත්පාදකයාට හිමි සම්මානයත්, 2019 වර්ෂයේ දී දකුණු පළත් කර්මාන්ත අංශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස පිදුම් ලැබීමටත් මොහුට හැකියාව ලැබී තිබෙනවා .
ඉන් අනතුරුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතනයන් වලින් විවිධ ආකාරයේ ඇගයීම් ලබා ගැනීමට ද මොහු වාසනාවන්ත වී ඇත. මොහු විසින් නිපදවූ මේ ස්භාවික නිෂ්පාදනය මහා පරිමාණයෙන් වෙළඳ පොලට නිකුත් කිරීමට ද මොහු බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරනවා. රටට ණයක් නොවී ජාතික අධ්‍යාපනය හරියාකාරව ලබන විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් ලෙස හඳුන්වන මොහු මේ නිකරුණේ කාලය ගත කරමින් කල් ගෙවන බොහෝ පුද්ගලයන්ට කදිම ආදර්ශයක්. ඔහුගේ අනාගතය සාර්ථක වෙන්න අපි හදවතින්ම සුබ පතමු.
M.ශෂිකලා මධුෂානි
B.A in communication studies