Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

හොටෙල් අයිතිකරුවන්ගේ නොයෙකුත් බැනුම් මැද තැඹිලි වතුරෙන් ලොව දිනූ හරින්ද්‍ර

තැඹිලි, කුරුම්බා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් ම නිවසට යම්කිසි පුද්ගලයෙක් ආපුහම පිළිගන්නවන  රසවත් අපූරු ඇඟ සිසිල් කරන පානයක්. ඉතින් විවිධ බාධක හා කම්කටොලු මැද වැටුණු අවස්ථාවන් බොහොමයක් පසු කරමින් ජීවිතය ජයගත්  අපූරූ ව්‍යවසායකයෙක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඔහු නමින් හරින්ද්‍ර මහකුඹුර වේ. 2012 වර්ෂයේදී ඔහු වෙළඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවකු ලෙස ක්‍රියා කරත් හදිස්සියේම එම ආයතනයේ සිදුවන යම් යම්  අලාභහානි  නිසා ඔහු එම ව්‍යාපාරය නවත්තනවා. 

මෙහෙම කාලය ගත කරද්දි ඔවුහු එක්තරා දිනක පුවත්පතක තිබූ හරි අපූරු ප්‍රවෘත්තියක් දකිනවා,”ලංකාවේ පොල් වතුර ලීටර් පනස් දහසක් පමණ අපතේ යයි ” පුවත්පතේ සදහන්ව තිබුනේ එලෙසයි. ඉතින් ඒ පිළිබඳව  නව අදහසක් පහළ වන ඔහු  අන්තර්ජාලය සහ විවිධ අංශ ඔස්සේ ඒ පිළිබඳ හොයන්න පටන් ගත්තා. ඉතිං පොල් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන බෝග අතරින්  එකක්. මෙහෙම තොරතුරු හොයද්දි මොහු දැනගත්තා පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදනය මෙතෙක් ශ්‍රී ලංකාවේ සාර්ථක ලෙස ව්‍යාප්ත වෙලා නැහැ කියලා.

ඒ නිසාම සති දෙක තුන මහන්සි වෙමින් ඔහු එක දිගට මේ පිළිබඳ තොරතුරු හොයන්න පටන් ගත්තා. ලබාගත් තොරතුරු සහ දැනුම මත  ඔවුහු කුරුම්බා වතුර බෝතල් ලෙස  ලබාදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පටන් ගත්තා. ඉතින් මේ පිළිබදව දැනගන්න ඔහුගේ යහළු මිතුරන් ඔහුව දිරිමත් කරනවා වෙනුවට , “පිස්සුද බං ලංකාවේ හතර වටේම පොල් ගස් තියෙනවා ඕවා මිනිස්සු ගනීද? ” යනුවෙන් ඔහුව සමච්චලයට ලක් කළා .ඉතින් ඒ හැම දෙනාගේම උසුළු විසුලු මැද ඔහු මේ උත්සාහය නං අතාරින්න කැමති වුණේ නැහැ.

මුලින්ම ඔහු  ඔහුගේ බිරිඳත් සමග එකතුවෙලා කුරුම්බා බෝතල් සීයක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් මෙලෙස නිෂ්පාදනය කරපු කුරුම්බා  බෝතල් 100 ඔහු  බෑග් එකක දමා  ඒ අවට ඇති සංචාරක හෝටල් වලට ඔහුගේ නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කරන්න පටන් ගත්තා. නමුත් ඉතින් පළමු පියවර තබද්දිම සිදුවුණේ සුබදායී දේවල් නම් නෙමෙයි . ” මල්ලි පිස්සුද උඹට ඕවට වඩා  අපි ගහෙන් ගෙඩියක් කඩල දෙනවනෙ ” යනුවෙන් නොයෙක් ආකාරයේ අධෛර්යමත් වන වැකි පැවසූ බොහෝ වෙළෙන්දන් ඔහු සමච්චලයට ද ලක් කළා .ඉතින් මේ කිසි දේකින් නොසැලෙන ඔහු  නැවතත් පසුදා කුරුම්බා  වතුර දැමූ බෝතල් 100 බෑග් එක දාගෙන  සංචාරක හෝටල් වලට යනවා.

ඉතින් මෙහෙම යද්දි එක්තරා දිනක මොරගල්ල ප්‍රදේශයේ එක්තරා සංචාරක හෝටලයකට ඔහු ගොඩ වදිනවා . ඉතින් එහිදී මොහුගේ නිෂ්පාදනය පිළිබඳ අදහස් දක්වපු හෝටල් හිමියා පවසන්නේ  ” මල්ලි උඹ නියම පොරක් නේ හෙටම බෝතල්  සීයක් ගෙනෙන්” ආකාරයේ ප්‍රකාශයක් ය. එයින් සතුටට පත් වන මොහු පසුදාම මොරගල්ල සංචාරක හෝටලයෙන් ලැබුණු ඇණවුමට හා හා පුරා කියලා කුරුම්බා වතුර බෝතල් සීයක් හදන්න පටන් ගන්නවා. ඉතින් මෙලෙස සකස් කරගත් කුරුම්බා වතුර බෝතල් රැගෙන ඔහු මෙම සංචාරක හෝටල් හිමි කරුවා හම්බවෙන්න යනවා .

ඇත්තටම මේ අවස්ථවේද සිදුවුණේ හරි අවාසනාවන්ත දෙයක්. හරින්ද්‍ර  දකින සංචාරක හෝටල් හිමිකරු  “අයියෝ කොල්ලෝ උඹ ඕක සිරාවටම ගත්තද මං විහිළුවට බං කිව්වේ ඕවා අරගෙන මං මෙතන මොනවා කරන්නද ?” යනුවෙන් පැවසුවේ ඔහුගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින්. හරින්ද්‍රගේ  හිතට ලොකු වේදනාවක් ඒත් එක්කම කෝපයක් ආවා. ඇස්වල කඳුළු පුරවගෙන හෝටලෙන්  ආපසු පැමිණි ඔවුහු තවත් හෝටල් කිහිපයකටම ගියේ තම නිෂ්පාදනය අලෙවි කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඒ සියලුම ස්ථාන වලින් ඔහුට ලැබුනේ සුබදායී පිළිතුරු නම් නෙවෙයි.

මේ සිදුවීමෙන් පසු ඔහු සති දෙකක කාලයක් ඉතාමත් කළකිරීමෙන් නිවසටම වෙලා කාලය ගත කළා .නමුත් ඔහුගේ බිරිද නිරන්තරයෙන්ම ඔහු දිරිමත් කිරීමට අමතක කළේ නැහැ. දවසක් ඔහුගේ නිවසට මිතුරෙකු පැමිණෙනවා .ඉතින් ඔහු මේ මිතුරට ශීතකරණයේ තිබ්බ  කුරුම්බා වතුර බෝතලයක් පිළිගන්වනවා.

මේ කුරුම්බා වතුර බෝතලය පානය කරපු ඔහුගේ මිතුරා කියනවා “මචං මේක සුපිරි උඹ මේක අතාරින්න එපා මේක කරපන් “කියලා .ඉතින් තම මිතුරාගේ  දිරිමත් කිරීම මත නැවත අතහැර දැමූ  ව්‍යාපාරය පටන් ගැනීමට ඔහු තීරණය කරනවා. ඉන්පසු නිෂ්පාදනය කරපු කුරුම්බා වතුර බෝතල් විකිණිම සදහා ඔහු එක්තරා  හෝටලයකට යනවා.ඉතිං මෙහිදී සිදු වුණේ හරි අපූරු දෙයක් මේ  හෝටලයේ අයිතිකරු මොහාන් සිල්වා නමැති මහතා මොහුගේ නිෂ්පාදන පිළිබඳ සතුටට පත්වෙලා  ඔහුට දිනපතාම තම හෝටලයට අවශ්‍ය කුරුම්බා වතුර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මෙතුමාගේ කාරුණිකත්වය සහ නිහතමානීකම නිසා ම සතුටට පත්වූ හරින්ද්‍ර නව බලාපොරොත්තුවක් සමගම ඔහුගේ නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කරන්න පටන් ගත්තා.

එතැන් පටන් “හෙළcoco”  සන්නාමය යටතේ තම නිෂ්පාදන වෙළඳපොලට ලබා දීමට ඔහු තීරණය කරනවා. ඉන්පසු ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වීමත් සමගම ඔහු තීරණය කරනවා කුරුම්බා වෙනුවට තැඹිලි වතුර බෝතල් ලෙස නිෂ්පාදනය කරන්න .

ඔවුහු කිසිම රසායනික ද්‍රව්‍යයක් නොදා  කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් නොදා අඩුම තරමේ ජල බින්දුවක් වත්  කලවම් නොකර මෙම නිෂ්පාදන වෙළඳපොලට ලබා දෙනවා.ඉතින් මොහුගේ තිබෙන පිරිසිදු චේතනාව නිසා ම අද වන විට මොහුගේ මෙම නිෂ්පාදන රටවල් හතකට අපනයනය කිරීමට හැකි වෙලා තියෙනවා .ඒ අතරින් ඇමරිකාව,කැනඩාව,ජර්මනිය,එංගලන්තය ,නවසීලන්තය,ඕස්ට්‍රේලියාව  ආදී රටවල් ඉන්  ප්‍රධාන වේ.

ඉතින් තමන්ගේ ව්‍යාපාරයට කොතෙක් බාධා එල්ල වුණත් එයින් පසු පස නොවී අද වෙන විට සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ඉන්න හරේන්ද්‍ර  නැමැති ව්‍යවසායකයන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙක්ට ලොකු ආදර්ශයක් .

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies