Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

ශක්තිජනක ප්‍රෝටීන් බහුල බිම්මල් සොසේජස් නිෂ්පාදනයක් වෙළඳපොලට

කෘතිම ආහාර රසකාරක යොදා නිෂ්පාදනය කරන විවිධ ආහාර වර්ග බහුලව අද වෙළෙඳපොළ තුල විකිණීමට තිබේ. එම නිසාම එවැනි කාල වකවානුවක  ස්වභාවික  අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු හරි අපූරු බිම්මල් සොසේජස් එකක් ගැන තමයි අපි අද ඔබට තොරතුරු කියන්න යන්නේ.

Star mushroom products නැමැති ආයතනයෙ කළමණාකරන අධ්‍යක්ෂිකා පූර්ණිමා රුක්මල් අමරතුංග මහත්මිය  තමයි මේ අපූරු නිෂ්පාදනය වෙළඳ පොළට හඳුන්වා දෙන්නේ. විටෙක වැටෙමින් නැගිටිමින් ආ මේ ගමනෙදී ඇය පුංචි බිම්මලකින් ලෝකය දිනන්නට හැකි බව සොයා ගත් අපූරු කාන්තාවක්.

Star mushroom products  නිෂ්පාදනය

තම නිෂ්පාදනය ගැන වැඩිදුර අදහස් දක්වන ඇය පවසන්නේ මස් මාංශ ආහාරයට නොගන්නා නිර්මාංශී පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කර ගත්තු වට්ටෝරුවකට අනුව ඇය මෙම නිෂ්පාදනය සකස් කළ බවයි. ඇය මෙම  බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමට පෙර එයට මූලික වුණු  අතීත කතාවක් ගැන සඳහන් කරනවා .ඇය වෘත්තියෙන් පරිගණක ගුරුවරියක්.නමුත් තමන්ගේ පළමු දරු උපතෙන් පසුව ඇය රැකියාවෙන් ඉවත් වෙනවා . මෙන්න මේ කාල සීමාවේ ඇය බිම් මල් වගාව සම්බන්ධයෙන් තොරතුරු සොයා බිම්මල් වගාව ආරම්භ කරනවා.

නමුත් එය ඒ තරම් සාර්ථක නොවුන නිසා  ඇය එතනින් එහාට බිම්මල්වලින් කළ හැකි නිෂ්පාදන පිළිබඳ සැලකිල්ලක් දක්වනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙවැනි නිෂ්පාදනයක් ඇගේ අතින් බිහි වෙන්නේ. ඒ වගේම මෙහි සඳහන් වන ආකාරයට මෙම නිෂ්පාදනයේ  අන්තර්ගත වී ඇත්තේ බිම්මල් සහ සෝයා යන ආහාර ද්‍රව්‍ය දෙක පමණයි.ඒ වගේම  ඇය පවසන ආකාරයට  බිම්මල් මිශ්‍ර සොසේජස් වර්ග ලෝකයේ ඕනෑතරම් හමුවුනත් බිම්මල් සහ සෝයා වලින්  විතරක් සකස් කරන නිර්මාංශි සොසේජස් වර්ගයක් මෙතෙක්  කිසිවෙක් නිර්මාණය කර නොමැති බවයි.

ඇය මේ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ බිම්මල් ය.මේ සඳහා  පොහොට්ටු සහ සාමාන්‍ය තරමේ පිපුණු බිම්මල් යොදා ගන්නා අතර  බිම්මල් ටික වේලාවක් උදේ අව්වේ තබා වේලා ගැනීම සිදු කරයි. එයට මූලිකම හේතුව තමයි  බිම් මල් ටික උදෑසන අව්වේ  තැබූ පසු විටමින් ඩී අවශෝෂණය කර ගැනීම සිදුවන නිසාය. ඉතාමත් පහසුවෙන් විටමින් ඩී  ආහාරයට ලබාගන්න පුළුවන් මාර්ගයක් වගේම පිළිකාව නසන දිව ඔසුවක් ලෙසත් බිම්මල් හඳුන්වන්න පුළුවන්.

ඉතින් මේ සඳහා ඇය බිම්මල් තෝරා ගැනීමේදී  විශේෂ සැලකිල්ලක් දක්වනවා විස නොයෙදූ  ස්වභාවික  තත්ත්වයෙන් යුත් බිම්මල් තෝරාගන්න.

ඇය මෙවැනි නිෂ්පාදනයක් සකස් කිරීමට හේතුව 

ඇය මෙවැනි ආකාරයේ නිර්මාංශි සොසේජ්  වර්ගයක් සකස් කිරීමට හේතුවූ මූලික හේතුවක් තිබූ බව සඳහන් කරනවා.ඇය නිතැතින්ම නිර්මාංශී පුද්ගලයෙක්.එම නිසාම නිරන්තරයෙන්ම ඇයට සිදු වෙලා තියෙනවා එකම දෙයක් සමග ආහාර ගන්න.ඉතින් ඒකාකාරී ආහාර රටාවෙන් මිදී  වෙනත් විකල්පයක් සොයා ගැනීම සඳහා උත්සාහ කරන අවස්ථාවකදී තමා ඇය මේ පිළිබඳ අවධානය යොමු කරල තියෙන්නේ. ඇගේ නිවසේ  බොහෝවේලාවට බිම්මල් ව්‍යංජනයක් ලෙස උයනවා. ඉතිං ඇය පවසන ආකාරයට ඇයට හිතිලා තියෙනවා බිම්මල් කරියට එහා ගිය රසවත් දෙයක් සකස් කරන්න.එම නිසා නොයෙක් ආකාරයෙන් විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ගවේෂණය කර අන්තර්ජාලය සහ විවිධ දැනුම් ඇති පුද්ගලයන්ගෙන් අවවාද සහ උපදෙස් ලබාගෙන මේ නිර්මාංශ සොසේජස් එක  නිෂ්පාදනය කරනවා .

මෙම නිෂ්පාදනයේ ඇති විශේෂතාවය තමයි වෙළෙඳපොළේ ඇති සත්ව අපද්‍රව්‍ය යොදා සකස් කරන සොසේජස් වෙනුවට මෙය කිසිදු කෘතිම ද්‍රව්‍යයක් භාවිතා නොකර ස්වභාවික ද්‍රව්‍ය වලින් පමණක්ම නිෂ්පාදනය කරන නිෂ්පාදනයක් වීමයි. ඒ වගේම අපේ දේශිය කුලුබඩු වර්ග යොදා දේශීය රසට ගැළපෙන ආකාරයෙන් තමයි මෙම නිෂ්පාදන වෙළඳපොළට එන්නේ.

ඉතින් සමහර සොසේජස් වර්ග නිෂ්පාදනය කරද්දි සොසේජස් එකට ආවරණයක් යොදනවා .බොහෝ වෙලාවට මෙවැනි ආවරණ  සකසා ගන්නේ සත්ව බඩවැල් උපයෝගී කරගෙන. ඒ වගේම බොහෝ වෙලාවට සොසේජස් නිෂ්පාදනය කිරීමේදී  කෘතිම ආවරනය යොදන අවස්ථා තිබෙනවා. ඉතින් මෙවැනි දේ යොදා ගැනීම මගින් මිනිසාගේ ශරීරයට නුසුදුසු සංඝටක රාශියක් එකතු වෙනවා .අන්න ඒ දේ වලක්වන්න  ඇය ආවරණයක් රහිත සොසේජස් නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දෙනවා .

ඉතින් ඇය කියනවා ආවරණයක් රහිත සොසේජස් එකක් නිර්මාණය කරද්දී ඇය මුහුණ දුන් ප්‍රධානම ගැටළුව තමයි සොසේජස් එක නොකැඩී අලවා ගන්නේ කොහොමද කියන කාරනාව. ඒ වගේම සොසේජස් එකේ හැඩය කොහොමද විධිමත් ආකාරයෙන් සකසා ගන්නේ කියලා . ඉතින් විවිධ පරීක්ෂණ සහ නිරීක්ෂනයන් මගින් ඔවුන්ට සාර්ථකව එම ගැටලුව ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා.ඒ සඳහා ඇය සෝයා පිටි යොදා ගන්නා අතර එමගින්  සොසේජස් එකේ  ශක්තිමත්භාවය වැඩි වූ අතර  එය කුඩා පෙති ආකාරයෙන් කපා  පිස ගන්නත් පුළුවන් ආකාරයෙන් සකස් කර ගැනීමට හැකි වුණා .

මේ වන විට සුපිරි වෙළෙඳ  පොළවල් ආශ්‍රිතව ඇගේ නිෂ්පාදනයට ඉහළ ඉල්ලුමක් තිබෙන අතර බොහෝ දෙනෙක් එය මිලදී ගන්නා බවද ඇය පවසයි. ඇගේම නිෂ්පාදනය මේ වන විට දේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් නිර්මාණය කර ඇති අතර ඇය පවසන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් යොදාගෙන සිදුකරන මේ ව්‍යාපාරය  තව තවත් දියුණු කර ගැනීමට කරගැනීමට අවශ්‍ය බවයි . ඒ වගේම මේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පේට්න්ට් බලපත්‍රය ලබා ගැනීමට ද ඇය මේ වන විට අයදුම් කර අවසන් ය.

නිරන්තරව ස්වභාවිකත්වයට මුල්තැන දෙන ඇය  මේ සොසේජස්  ජීවානුහරණය කිරීම සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරගත් සුවිශේෂී ලී කුඩු පෝරණුවක් සකසා ගන්නවා.ඒ වගේම සොසේජස්  කෑලි කපා ගැනීමටත් නවීන තාක්ෂණය යොදා  ඔවුන් විසින්ම සකස් කර ගත් යන්ත්‍ර සූත්‍ර ද තිබේ.

ඉතින් ඇය වැඩිදුරටත් පවසන්නේ විදේශීය විනිමය රට තුළට ළඟාකරගැනීමට නම් මෙවැනි ආකාරයේ ව්‍යාපාරයක් දියුණු කරලීමට රජයේ නිතැතින්ම අතහිත ලබාදිය යුතු බවයි .

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies