Girl in a jacket

Made in Sri Lanka

The Sri Lanka Brand

කැලි කසළ දහනය කර කොම්පොස්ට් නිපදවන වඩු කාර්මිකයා

කුණුරොඩු කියලා කියන්නේ  විවිධ ප්‍රදේශවල  විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිරන්තරයෙන්ම, බහුල  ලෙස කතාබහට ලක්වන මාතෘකාවක්. තදාසන්න ප්‍රදේශවලට අධික ජනකායක් එක්රොක් වීම,ඒ වගේම එදිනෙදා පරිභෝජනය කරන  විවිධ නොදිරන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, නිවෙස් වල එක්රැස්වන කැලි කසළ නිසි ලෙස බැහැර නොකිරීම යන විවිධ හේතූන් මත  කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල  උස්කඳු මුදුන් හා සමානවම කුණු කඳු දැකගන්න පුළුවන් .

කුණුගොඩවල් කුණු කඳු බවට පත් වන විට නගර අලංකරණය නැතිවීම  ,දුගඳ හැමීම  ආදී පාරිසරික සුන්දරත්වය විනාශ වන්නේ නිතැතින්මයි. අතීතය දෙස විමසිල්ලෙන් බලන විට කුණු කන්දක් කඩා ගෙන වැටීමෙන් ජීවිත හානි සිද්ධ වුනු අවාසනාවන්ත  සිදුවීම්  අපිට අහන්නටත් දකින්නටත් තිබුණා. කුණුගොඩවල් ගොඩ නැගීම නිසා පරිසරයේ ජීවත්වන මිනිසාට පමණක් නොව  සතුන් ද නිරන්තරයෙන් අපහසුතාවයට පත්වේ. මෙවැනි ගැටළු රාශියක් නිර්මාණය කරන රටක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතාමත් යෝග්‍ය  විසඳුමක් ලබා දීපු අපූරු  පුද්ගලයෙක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ඔහු නමින් ආර් ඒ සරත් තිලකසිරි මහතා යි. නිරන්තරයෙන්ම නව නිෂ්පාදන සිදු කිරීම සඳහා උනන්දුවක් සහ කැපවීමක් දක්වන මෙතුමා වෘත්තියෙන් මේසන් සහ වඩු තාක්ෂණික ශිල්පියකු වේ. ඔහුගේ ශිල්පීය දක්ෂතා සහ තාක්ෂණික දැනුම භාවිතා කර කසල කිලෝ පහක පමණ ප්‍රමාණයක් පුළුස්සා  ඉන් නිකුත්වෙන දුම් පරිසරයට හානි නොවන ලෙස නිදහස් කිරීමටත් පිළිස්සී අවසන් වූ දේ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් සකස් කරපු අපූරු යන්ත්‍රයක් ඔහු විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇත.

වසර දෙකක් තිස්සේ සිදු කළ පරීක්ෂණවලින් පසුව සකස් කළ මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස් කර තිබීමත්  එහි සාර්ථක තාවය මත මේ වන විට කසල ටොන් දහයක් පිලිස්සීමට හැකි වැඩි දියුණු කල නව යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ද ඔවුහු මේ වන විට  පියවර තබා ඇත. මෙම වැඩිදියුණු කල යන්ත්‍රය   ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.එනම් එක් කොටසකින් කසල ටොන් 5 බැගින්  කසල ටොන් 10 ක් මේ යන්ත්‍රය මඟින් දහනය කිරීමට හැකිවේ. දහනය වී අවසන් වන කසළ කොම්පෝස්ට් පොහොර ලෙස  පත් කර ගෙන අවසානයේ එම පොහොර පොල් වගාව, කෙසෙල් වගාව ආදී විවිධ භෝග වගාවන් වලට පොහොරක් ලෙස භාවිතා කළ හැකිය.

ඉවත ලන කුණු රොඩු පරිසරයට මුදා හරිමින් පරිසරය දූෂණය කරනවා වෙනුවට  එම කුණුරොඩු ම දහනය කරමින් කොම්පෝස්ට් පොහොරක් ලෙස බෝග වගාවන් වලට ලබා දී  වගාවේ අස්වැන්න ඵලදායිතාවයෙන් වැඩි අස්වැන්නක්  බවට පත් කිරීමටත් මෙම යන්ත්‍රය මහත් සේ උපකාරී වෙයි.මෙම යන්ත්‍ර නිෂ්පාදනය කර මෙතුමා ඒකල  ඉංජිනේරු කාර්මික ජනපදයට  ගිහින්  මේ අපූරු  නිෂ්පාදනය  එහි සිටින ඉංජිනේරු මහත්තුරුන්ට  පෙන්වා එහි ක්‍රියාකාරිත්වය  පැහැදිලි කර ඇත .යන්ත්‍රය පිළිබඳ ඉතා ඉහළින් පැසසීමට ලක් කළ එම පුද්ගලයන්  ඔහුට පැවසුවේ කෙසේ හෝ මේ නිර්මාණය  ඉදිරිය කරා රැගෙන යා යුතු බවයි . 

වැඩිදුරටත් අදහස් දක්වන මෙතුමා පවසන්නේ මෙම යන්ත්‍රය නිෂ්පාදනය කරන්න පර්චස් 50 ක පමණ භූමි ප්‍රමාණයක ඉඩකඩ අවශ්‍ය  බවත් මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඒ සඳහා ඔහුට ආර්ථික ශක්තියක් නොමැති නිසා  රාජානුග්‍රහය එයට අවශ්‍ය බවත්ය. රටක සුන්දරත්වය විනාශ කරන තැන තැන එක්රැස්වන කුණු කදු අතුගා දමන්න පුළුවන් මෙවැනි යන්ත්‍ර සූත්‍ර  නිෂ්පාදනය කර වැඩි දියුණු කිරීම  ජාතික මෙහෙවරක් ලෙස  හැඳින්විය හැකිය.

මෙවැනි සමාජයීය ආයෝජනයකට  උදව් උපකාර කළ හැකි තත්ත්වයේ පසු වෙන කවුරුන් හෝ සිටී නම්  මෙවැනි යන්ත්‍ර සූත්‍ර වැඩිදියුණු කර එයින් උපරිම ඵල නෙළා ගැනීමට  අප තවමත් ප්‍රමාද නැත .